දිනසේන රතුගමගේ –
මුලතිව් තුනුකායී මාර්ගයේ කල්විලාන් ප්රදේශයේ මහා මාර්ගය අයිනේ වී වේලමින් සිටි කල්විලාන් ගොවි සංවිධානයේ ලේකම්වරයා වූ චෙල්ලයියා ක්රිෂ්ණරාජාට නාදුණන පුද්ගලයෙකු විසින් වෙඩි තැබීම නිසා ඔහු බරපතල ලෙස තුවාල ලබා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබේ.
42 හැවිරිදි ලේකම්වරයා ඊයේ (24) ඔහුගේ කුඹුරේ වි ඇස්වැන්න මහ පාරේ වේලමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ඔහුට වෙඩි තබා පලා ගොස් තිබේ.
ප්රදේශවාසීන් කියා සිටියේ මෙම ලේකම්වරයා තුනුකායී ප්රදේශයේ කුඹුරු ආශ්රිතව ඇති ඇල වලින් වැලි ගොඩ දැමීමට කිසිදු අවසරයක් නොදෙන අතර ඔහු පෞද්ගලිකවම එම වැලි ඇලවල් ආරක්ෂා කරමින් සිටින නිසා නීති විරෝධී වැලි ජාවාරම්කරුවන් විසින් මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවය.
ඔහුට නිරතුරුවම වැලි ජාවාරම්කරුවන්ගෙන් තර්ජන තිබූ බවද ඔහු ගොවි සංවිධාන රැස්වීම වලදී ප්රසිද්ධියේම ප්රකාශ කොට ඇත.
දැනට ලැබී ඇති තොරතුරු වලට අනුව යතුරු පැදියේ දෙදෙනෙකු පැමිණ ඇති අතර එහි පිටුපස සිටි පුද්ගලයා ලේකම්වරයාට වෙඩි තබා තිබේ.
ඒ වන විට ලේකාම්වරයා වී වේලීමට දමා මදුරුවන්ගෙන් ආරක් ෂා වීමට මාර්ගය අයිනේ රදවා තිබූ මදුරු දැලක් තුළ සිට ඇත.
වෙඩි ශබ්දය ඇසීමෙන් පසුව එම ස්ථානයට පැමිණි පිරිසක් තුවාල ලබා සිටි ගොවි සංවිධාන ලේකම්වරයාව රෝහල් ගත කොට තිබේ.
තුනුකායී පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.





