දිනසේන රතුගමගේ –
ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය (ITAK ) හා ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම්ගේ දෙමළ ජාතික ජනතා පෙරමුණ (TNPF) හැරෙන්නට අනෙක් සියලුම දෙමළ දේශපාලන පක්ෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබමින් මෙවර ජනාධිපතිවරණය සඳහා දෙමළ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවට තීන්දු කර තිබේ.
සී.වී. විග්නේස්වරන් මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුතු දෙමළ ජනතා සන්ධානය තවත් දෙමළ දේශපාලන පක්ෂ 7 ක් සමග පොදු එකගතාවයකට පැමිණ දෙමළ ජාතික සභාව යළි ශක්තිමත් කිරීමටද මෙහිදී පියවර ගෙන තිබේ.
ජනාධිපතිවරණයේදී පොදු දෙමළ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට කැමැත්ත පල කළ දෙමළ පක්ෂ නියෝජනය කරමින් දෙමළ ඊළාම් විමුක්ති ව්‍යාපාරයේ ( TELO ) නායක සෙල්වම් අධිකලනාදන්, දෙමළ ජනතා සන්ධානයේ නායක සී.වී.විග්නේෂ්වරන්, දෙමළ ඊළාම් ජනතා විමුක්ති සංගමයේ (PLOT ) සභාපති ධර්මලිංගම් සිද්ධාර්ථන්, දෙමළ ජාතික පක්ෂයේ සභාපති නල්ලතම්බි ශ්‍රීකාන්ත, ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණේ ( EPRLF ) සභාපති සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, දෙමළ ජාතික හරිත ව්‍යාපාරයේ සභාපති පී. අයිංගරනේසන්, ප්රජාතන්ත්රවාදී සටන්කාමී පක්ෂයේ නායක සී. වෙන්දන්, යන අයද දෙමළ ක්‍රියාධරයින් වෙනුවෙන් වසන්තරාජා, ඒ. ජ්යෝතිලිංගම් මහාචාර්ය කේ.ආර්.ගනේසලිංගම්, රාජලිංගම් විග්නේෂ්වරන් දේශපාලන විචාරක ඒ. ජතින්ද්රන් සහ දේශපාලන විචාරක එම්. නිලන්තන් යන අයද මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කොට තිබේ.
මෙහිදී විග්නේස්වරන් මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයේදී දෙමළ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කළත් ඔහුට ජයක් ලැබීමට සිංහල බෞද්ධවාදී දේශපලනය තුළ ඉඩක් නොමැති නමුත් දෙමළ ජනයාටද ශක්තියක් හා බලයක් ඇති බව පෙන්වීම පිණිස පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම කාලීන අවශ්‍යතාවයක් බවයි.







