දිනසේන රතුගමගේ –
චාවකච්චේරියේ මිනිස්සු රත්තරන් සොයා චාවකච්චේරි නගර සභාවේ කුණු කන්ද හෑරීමට හා කුණු ගොඩ ඇවිස්සීමට පටන් ගෙන ඇතැයි වාර්තා වේ. සැලවන ආකාරයට සිද්ධිය මෙසේය.
යාපනයේ චාවාකච්චේරී සංගතානේ ප්රදේශයේ නිවසකින් රන් පවුම් හතලිස් දෙකක් වටිනා රන් භාණ්ඩ නගර සභාවේ කුණු ගොඩට දැමීම නිසා ඔවුන්ට ඒවා අහිමි වී තිබේ.
මේ දිනවල යාපනයේ පවතින හොරකම් කිරීම් වැඩි නිසා නිවසේ කාන්තාව රන් භාණ්ඩ වැඩි ආරක්ෂාව සදහා ප්ලාස්ටික් බෝතලයක දමා නිවසේ වෙනත් තැනක සගවා තැබීමට කටයුතු කොට තිබුණි.
මේ බව නොදත් ස්වාමිපුරුෂයා නිවස අස් කිරීමේදී එම ප්ලාස්ටික් බෝතලයද කුණු සමග දමා නගර සභාවේ කුණු ලොරියට බාර දී තිබේ.
සිද්ධිය අසා කලබලයට පත් වූ නිවසේ කාන්තාව ස්වාමි පුරුෂයාට ඒ බව දැණුම් දීමෙන් පසුව වහාම චාවාකච්චේරි පොලීසිය වෙත ගිය ස්වාමි පුරුෂයා ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කොට තිබේ.
පැමිණිල්ලට අනුව පොලිස් නිලධාරීන් පිරිසක් ගොස් අදාල කුණු ගොඩ පරීක්ෂා කළ නමුත් ඔවුන්ට එවැනි රන් භාණ්ඩ හමු වී නොමැත.
ස්වාමි පුරුෂයා විසින් මේ සිද්ධිය චාවකච්චේරී නගර සභාවටද දැණුම් දී තිබේ.
නමුත් මේ දක්වාම නගර සභාවේ කුණු ලොරියට මුසු වූ රන් භාණ්ඩ කිසිවෙකුටත් හමු වී නොමැත.
මේ ආරංචිය ප්රදේශය පුරා පැතිර යාමත් සමගම බොහෝ වැසියන් නගර සභාවේ කුණු කන්ද හෑරීමට හා කුණු ගොඩ ඇවිස්සීමට පටන් ගෙන තිබේ.
පසුගිය වසරේදීද යාපනයේ චාවාකච්චේරී ප්රදේශයෙන් මෙවැනිම සිද්ධියක් වාර්තා වූ අතර එම නිවෙස් හිමියා විසින් නගර සභාවේ කුණු ලොරියට දැමූ රන් පවුම් 18 ක රන් භාණ්ඩ නගර සභා සේවකයින් විසින් සොයා ගෙන නිවසටම ගෙනැවිත් බාර දී තිබුණි.