සූරියවැව නුවන් ජයසේකර –
වසර 19කට පෙර තිස්සමහාරාම පොලිස් වසමේ සිදු වු සිද්ධියකට අදාලව අත්අඩංගුවට පත් සැකකරුවන් පස්දෙනෙකුට පොලිස් අත්අඩංගුවේ සිටියදි අමානුෂික ලෙස පහරදි කෲර වධ හිංසාවට ලක් කිරීමේ චෝදනා මත තිස්සමහාරාම පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපති වරයෙකු ඇතුළු පොලිස් නිලධාරින් තිදෙනෙකුට වසර 07 බැගින් බරපතළ වැඩ සහිත සිර දඩුවමක්, රුපියල් 10,000 බැගින් ද මුදලක් හා රුපියල් ලක්ෂ 05 බැගින් වු වන්දි මුදලක් ගෙවන ලෙස මාතර මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් ඊයේ (24) නියම කළේය.
මෙලෙස සිර දඩුවම් හා වන්දි නියම කෙරුණේ තිස්සමහාරාම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ දැනට කොස්ගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇලබොඩ ආරච්ච්ගේ සිරිනිමල් ප්‍රභාත් දේශබන්දු හා එවකට තිස්සමහාරාම පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවය කළ වර්තමානයේ වැල්ලවත්ත පොලිසියේ පොලිස් පරික්ෂක වරයෙකු ලෙස සේවය කරන සන්නස්ගල මුදියන්සේලාගේ ප්රසන්ජිත් සන්නස්ගල හා දැනට වැඩ තහනමකට ලක්ව සිටින පොලිස් සැරයන් වරයෙකු වන සරත් කුලතුංග නැමති සැකකරුවන්ටය.
සිද්ධිය
2005.03.01 වන දින තිස්සමහාරාම පොලිස් වසමේ උඩුවිල ප්‍රදේශයේ පිහිටි තිස්ස විලේජ් නැමති හෝටලයේ හිමිකරු හා වෙනත් පාර්ශවයක් අතර ඇති වු ආරවුලකදී විත්තිකාර පොලිස් නිලධාරීන් විසින් තිස්ස විලේජ් හෝටලයේ හිමිකරු ඇතුළු එහි සේවකයින් 05 දෙනෙකු පැහැරගෙන ගොස් පහරදී කෘරත්වයට පත් කර පසුව ඔවුන් ගිනි අවි හා ජීව අත් බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය ලග තබාගත් බව පවසමින් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාර ගත කර තිබේ.
මේ සම්බන්ධයෙන් හෝටල් හිමිකරු ඇතුළු සේවකයන් විසින් ශ්‍රේෂ්ඨාධීකරණයට මුලික අයිතිවාසිකම් පිළිබඳ නඩුවක් ගොනු කර ඇත.
එහිදී ශ්‍රේෂ්ඨාධීකරණය නියම කර ඇත්තේ විත්තිකාර ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් විසින් හෝටල් හිමිකරු ඇතුළු සේවකයන් පස් දෙනාගේ මුලික අයිතිවාසිකම් කඩ කර ඇති බවය. ඒ අනුව පොලිස් මුලස්ථාන විසින් සිදුකළ මුලික විමර්ශනයකින් අනතුරුව කොළඹ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට මෙහි වැඩිදුර විමර්ශන කටයුතු පවරා තිබේ.
එහිදි මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාට කරුණු වාර්තා කිරීමෙන් පසු නීතිපතිවරයා විසින් චුදිත ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ට එරෙහිව මාතර මහාධිකරණය හමුවේ නඩු පවරණ ලදි.
නඩු තීන්දුව
ඒ අනුව පැවති දිර්ඝ නඩු විභාගයකින් පසු පැමිණිල්ල විසින් චුදිතයින්ට එරෙහිව නගා තිබු අධි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර තිබිම හේතුවෙන් මාතර මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා විසින් චුදිතයින් තිදෙනාට වසර 07 බැගින් බරපතළ වැඩ සහිත සිරදඩුවම් නියම කළ අතර චුදිතයින් තිදෙනා විසින් අගතියටපත් එක් අයෙකුට රුපියල් ලක්ෂ 05 බැගින් වන්දි ගෙවන ලෙසටද නියම කෙරුණි.
මිට අමතරව එක් එක් චුදිතයින්ට රුපියල් 10,000 බැගින් දඩයක්ද නියම කෙරුණි.
විත්තිකාර පොලිස් නිලධාරීන්ගේ පහරකෑමට ලක් වු පුද්ගලයන් තිදෙනාට එරෙහිව පොලිස් නිලධාරීන් විසින් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමෙන් අනතුරුව මේ වන විට ඊට අදාල නඩුවද හම්බන්තොට මහාධිකරණයේ විභාග වෙමින් පවතියි.







