ශ්‍රියානි විජේසිංහ –
පසුගිය වසරට (2023) සාපේක්ෂව මේ වසරේ (2024) මුල් කාර්තුව තුළදී ඒඩ්ස් රෝගීන් සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන බව එච්අයිවී ඒඩ්ස් මර්දන වැඩසටහන පවසා සිටියි.
පසුගිය වසරේ මුල් කාර්තුව තුළදි රෝගීන් 165 දෙනෙකු වාර්තා වූ නමුත් මේ වසරේ මුල් කාර්තුව තුල එය 207 දක්වා වර්ධනය වී ඇත.
පසුගිය වසරේ දෙවන කාර්තුවේදී රෝගීන් 181ද තුන්වන කාර්තුවේදී 139ක් හා හතරවන කාර්තුවේදී ආසාදිතයින් 209ක් පිළිවෙලින් වාර්තා වී තිබේ.
2024 පළමු කාර්තුවේ වාර්තා වූ ඒඩ්ස් රෝගීන්ගෙන් වයස අවුරුදු 15-24 අතර තරුණයින් 23ක් සහ තරුණියන් 5 දෙනෙක් සිටින බවත් ඉතිරි සියලුම දෙනා වයස අවුරුදු 25ට වැඩි වූවන් බවත් ඒඩ්ස් මර්දන වැඩසටහනේ ප්‍රකාශකයෙක් පැවසුවේය.
එච්අයිවී රෝගීන් හදුනා ගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ ධාරිතාවය පුළුල් කිරීම හා අවදානම් ලිංගික හැසිරීම පිලිබඳව නිරන්තරයෙන්ම ජනතාව දැනුවත් කළත් ඔවුන් ඒ පිලිබඳව නිසි සැලකිල්ලක් නොදැක්වීම රෝගීන්ගේ සංඛ්‍යාව වැඩිවීමට හේතුවක් වී ඇති බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.