මනම්පිටිය නිමල් ජයරත්න –
මාරක අනතුර රැසක් සිදුවූ පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය කොටලීය පාලම දින හතකට ආසන්න කාලයක් ගංවතුරෙන් යටව තිබීම හේතුවෙන් එම පාලම ස්ථාන කිහිපයක ඉරි තැලීම් සහ පිපිරීම් සිදුවී තිබේ.
මේ තත්ත්වය තුළ වාහන ගමනාගමන කටයුතු දැඩි අවධානමකට ලක්ව ඇති බව ප්‍රදේශවාසීහු සඳහන් කරති.
වසර සීයකට වැඩි කාලයක් පැරණි කොටලීය පාලම මාරක අනතුරු ගණනක් සිදුව ඇති පාලමකි. ඉකුත් සැප්තැම්බර් මාසයේ නව වැනිදා මෙම පාලමෙන් බස් රථයක් පෙරලීම හේතුවෙන් ජීවිත එකොළහක් අහිමි වුණි.
මීට පෙරද අවස්ථා කිහිපයකදීම මනම්පිටිය කොටලීය පාලමෙන් විවිධ වාහන යතුරුපැදි ත්‍රීරෝද රථ සහ බස් රථ වැටි සිදුවූ අනතුරුවලින් ජීවිත පනහකට ආසන්න සංඛ්‍යාවක් අකාලයේ රටට අහිමි විය.
උතුරු මැද පළාත සහ නැගෙනහිර පළාතේ මායිම් වන මනම්පිටිය කොටලීය පාලම සහ ගල්ලෑල්ල පාලම පටුවීම හේතුවෙන් වාහන ගමනාගමට දැඩි ලෙස බාධා එල්ල වී ඇතර මෙම පාලම යම් කිසි හෙයකින් කැඩි විනාශයට පත් වුවහොත් ඒ සඳහා විකල්ප මාර්ගයක් ලෙස මහියංගන හා දෙහිඅත්තකණ්ඩිය බකමූණ වැනි මාර්ග වෙත යොමුවීමට සිදුවන බවද ප්රදේශවාසිහු සඳහන් කරති.
මනම්පිටිය කොටලීය පාලම යට යකඩ කම්බී, මළ කඩකා දිරාපත් වී ඇති බවද වාර්තා වේ.
අප මෙම තත්ත්වය පිළිබඳ පොළොන්නරු දිස්ත්‍රික් ආපදා කළමනාකරන සහකාර අධ්යක්ෂ කාර්යාලයෙන් දුරකථනයෙන් කළ විමසීමේදී සඳහන් කළේ ඒ පිළිබඳ මාර්ග සංවර්ධන අධිකාරිය මෙන්ම අදාළ බලධාරීන් දැනුවත් කර ඇති බවයි.
මේ පිළිබඳව අප පොළොන්නරුව දිස්තික් පාර්ලීමේන්තු මංත්‍රි, මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් ගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ මෙම පාලම පුළුල් කිරීමට රුපියල් මිලියන 421 ක මුදලක් ඇස්තමේන්තු කර ඇති බවත්, එම කටයුතු ඉතා කඩිනමින් ආරම්භ කිරීමට රජයේ අවධානය යොමුකර ඇති බවයි.