දිනසේන රතුගමගේ –
තවත් වසර පහකින් තමන් දේශපාලනයෙන් විශ්රාම ගන්නා බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී එම්.ඒ.සුමන්තිරන් ප්රකාශ කළේය.
ඊයේ (20) ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ කාරතීව් ශාඛා කාර්යාලයේදී ඔහු මේ බව කියා සිටියේය.
” තව මාස දෙකකින් මගේ වයස අවුරුදු 60 ක් වෙනවා. මම මගේ සියළුම දේශපාලන කටයුතු වලින් වයස අවුරුදු 65 දී විශ්රාම ගැනීමට තීරණය කොට තිබෙනවා.” මන්ත්රීවරයා කීවේය.
“මේ දිනවල ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය ගන බොහෝ දෙනෙක් කතා කරනවා. විවිධ මත පලකරනවා. ඒ වගේම ප්රවෘත්තිත් පල වෙනවා. නමුත් මගේ විශ්වාසය නම් අපේ පක්ෂයට නව නායකයෙකු තෝරා ගැනීම සඳහා ඡන්දයක් පැවැත්වීම වඩා සාර්ථක බවයි. “
“ඒ වගේම අපේ පක්ෂයේ නායකයා ඡන්දයකින් පත් වූ පසුව පක්ෂය තවත් ශක්තිමත් වනවාට කිසිම සැකයක් නැහැ. මේ ශක්තිමත්භාවය වඩාත් ශක්තිමත් කර ගැනීම සඳහා පක්ෂයට නායකයෙකු තෝරා ගැනීම සඳහා වසර දෙකකට වරක් ඡන්දයක් පැවැත්වීම ඉතා සුදුසු බවට මම යෝජනා කරනවා.”
“අපේ වගේ ප්රජාතන්ත්රවාදී වටිනාකම් කිසිම පක්ෂයකට නැහැ. සමස්ත ලංකා දෙමළ කොංග්රසයේ නායකයා විය හැක්කේ පොන්නම්බලම්ට පමණයි. අපේ පක්ෂය තුළ ඒ වගේ ක්රමයක් නැහැ.
මාස දෙකකින් මට වයස අවුරුදු 60 යි. මම අවුරුදු 65 දී දේශපාලනයෙන් සමුගන්නවා. මගේ පූර්වගාමීන් කරපු වැරදි මම කවදාවත් කරන්නේ නැහැ.”
“2010 ඉඳන් මම සම්පන්ධන් එක්ක පක්ෂයේ හැම කටයුත්තකදීම හිටියා. මම සර්ව පක්ෂ මට්ටමේ සාකච්ඡාවලට සහභාගි වෙලා තියෙනවා.”







