අප ප්‍රසාද ලකුණු සටහනේ 07වන තැනය. අප පසුකර ඇෆ්ගනිස්ථාන කණ්ඩායම 05වන ස්ථානයට පැමිණ ඇත්තේ ලකුණු 08ක් සහිතවය. 3වන තැන් ඉන්නා ඔස්ට්‍රේලියාවත්, සිව්වන තැන ඉන්නා නවසීලන්තයත් ලබාගෙන ඇත්තේ ලකුණු 08 බැගිනි. ලකුණු ලබා ගැනීමේ දළ වේගය මත ප්‍රසාද ලකුණු සටහනේ මුල් හතර තුළ ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය රැඳී ඉන්නේය.
මේ ලෝක කුසලාන තරගාවලියේ පෙරළියක් සිදුකරනු ඇතිනම් ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම බවට විචාරක මත පලවී ඇත්තේ ශ්‍රී ලංකාව තවදුරටත් මේ තරගාවලියට වලංගු නැති වීදි ක්‍රිකට් ගහන ගොබ්බයන් සේ තරගාවලිය තුළ රස්තියාදුවන පරිසරයකදී ය.
අද පැවති නෙදර්ලන්ත ඇෆ්ගනිස්ථාන තරගයේ දී ඉතා ස්ථාවර සහ වෘත්තීය තරග රටාවක් පෙන්වූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කඩුළු 07කින් ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 07කින් පරාජය කළ ආකාරයේම පහසුවෙනි.

ලෝක කුසලාන තරගාවලියේ 34 වැනි තරගය ලෙස ලක්නව්හි ආතල් බිහාරි වජ්පායි ක්‍රීඩාංගනයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ නෙදර්ලන්ත කණ්ඩායමය. ඔවුහු පිතිකරණය තේරූහ.
එහෙත් නෙදර්ලන්ත කණ්ඩායම ඕවර 46.3ක දී සියල්ලන් දැවී රැස් කරගත්තේ ලකුණු 179කි. සිබ්රන්ඩ් එන්ගල් බ්‍රෙච් පන්දු 86ක දී හතරේ පහර 06ක් සමගින් ලකුණු 58ක් ලැබුවේය. මැක්ස් ඕ වොඩ් පන්දු 40ක දී ලකුණු 42ක් ලැබුවේය. ඊට හතරේ පහර 09ක් ඇතුළත් විය. කොලින් ඇකර්මන් ලකුණු 29කි. අනෙක් පිතිකරුවන් කිසිවෙක් ලකුණු 11කට වඩා රැස් කළේ නැත. කණ්ඩායමේ සිව් දෙනෙක් දුවද්දී දැවී යෑම මේ තරගාවලියේ සිදුවූ විශේෂ සිද්ධියකි.
අමතර ලකුණු 16කි. ඒ අතර වයිඩ් පන්දු 14ක් විය.
සියල්ලන්ම දැවී නෙදර්ලන්තය ලකුණු 179කට සීමා විය. මෙහොමඩ් නබී ලකුණු 28කට කඩුලු 03ක්, නූර් අහමඩ් ලකුණු 31ට කඩුළු 02ක් සහ මුජිබ් උර් රහ්මාන් ලකුණු 40ට කඩුල්ලක් ලැබුවේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථානයේ මුල් කඩුලු දෙක ලකුණු 55ක් තුළ දැවී ගියේය. ආරම්භක පිතිකරු රහ්මනුල්ලා ගුර්බාස් ලකුණු 10කටත්, ඊබ්‍රහීම් සද්රාන් ලකුණු 20කටත් දැවී ගියේ. අනතුරුව පිටියට පැමිණි රහ්මට් ෂා සහ නායක හෂ්මතුල්ලාහ් ෂහීඩි අර්ධ ශතක ලැබූහ. රහ්මට් ෂා ලකුණු 52කි. නායක හෂ්මතුල්ලාහ් ෂහීඩි නොදැවී ලකුණු 56කි. අස්මතුල්ලාහ් ඕමාර්සායි නොදැවී ලකුණු 31කි.
ඇෆ්ගනිස්ථාන කණ්ඩායම තරගය නිමා කරන්නේ ඕවර 31.3කිනි. දැවි ගියේ කඩුලු 03කි. පන්දු 111 ඉතිරිව තිබිය දී ඔවුන් කඩුළු 07කින් දිනුම්ය. තරගයේ විරයා ලකුණු 28ට කඩුළු 03ක් ලබා ගත් මොහොමඩ් නබීය.
දැන් සිදුවී ඇති දේ මුලින්ම සඳහන් කළෙමු. අවසන් පූර්ව වටයේ දොරට තට්ටු කරමින් සිටිනා පසුපෙළයන් අතර බලාපොරෝතතු සහිතව ඇෆ්ගනිස්ථානය ඉහළින්ම සිටින්නේය. එය තරගාවලියේ වර්ණවත් අවස්ථාවක් ලෙස දැන් චිත්රණය වෙමින් ඇත.







