අදාල පොලිස් බලප්‍රදේශයේ පොලිසිය සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අතර නිසි සම්බන්ධීකරණයක් නොමැති වීමෙන් ඇති වූ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස අද කොළඹ තිගැස්සුනේය.
පාතාල පැහැර ගැනීමකට නොදෙවෙනි මේ සිද්ධිය එවැනි දෙයක් නොවන බවත් එය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකළ මෙහෙයුමක් බවත් දැනගන්නේ සිද්ධිය වූ ස්ථානයට පොලිසිය, අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන්, විශේෂ කාර්ය බලකාය ගෙන්වා මුළු කොළඹම සීරුවෙන් තබා පැයකටත් ආසන්න කාලයකට පසුය.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
යුරෝපීය රටක සිට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත විශේෂ පාර්සලයක් ලැබී තිබිණි. එම පාර්සලය පැමිණ තිබුණේ මෝදර ප්‍රදේශයේ කාන්තාවකගේ නමටය.
එය ලබා ගැනීමට පැමිණ සිටියේ තැපැල් සේවකයෙකි. ඔහු කාන්තාවගේ ජාතික හැඳුනුම්පත සහ පැවරුම් ලිපියක් රැගෙන පාර්සලය නිදහස් කරගැනීමට පැමිණ තිබිණි. සියලුම නිශ්කාෂණ කටයුතු නිමා කර යම් සැකයක් ඇති වූ හෙයින් පාර්සලය විවෘත කර බලන විට පැමිණ තිබුණේ කිලෝ හතරකට වැඩි බරකින් යුතු කුෂ් මත්ද්‍රව්‍ය තොගයකි.
ඒ අවස්ථාවේ දී පලා යෑමට තැත් කළ පුද්ගලයා අත් අඩංගුවට ගැනුණි. අනතුරුව මෙම මත්ද්‍රව්‍ය පාර්සලය නිදහස් කරගැනීමට තැපැල් සේවකයා මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවූ බව කියන කාන්තාව ගැන විමසන විට පෙනී ගොස් තිබුණේ එය ව්‍යාජ ජාතික හැඳුනුම්පතක් බවය.
මෙම මත්ද්‍රව්‍ය පාර්සලයේ සැබෑ හිමිකරුවන් අත් අඩංගුවට පත් සේවකයා ලවා මධ්‍යම තැපැල් හුවමාරුව අසලට ගෙන්වා ගන්නේ ඉන් පසුවය. එතැනට බී.එම්.ඩබ්ලියු රථයකින් පැමිණෙන තරුණයෙක් සහ මැදිවිය ගෙවමින් සිටින පුද්ගලයෙකි. මේ මැදිවිය ගෙවමින් සිටින තැනැත්තා ද තැපැල් සේවකයෙකි.
මෙම පුද්ගලයින් පැමිණි වහාම රැක සිටි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් දෙදෙනෙක් විසින් ඔවුන්ව අත් අඩංගුවට ගෙන ත්‍රීවිල් රථයකින් රැගෙන යන්නේය. වැටලීම කළ නිලධාරියෙක් පොලොවට වෙඩි දෙකක් තබන්නේ එක් සැකකරුවෙක් මිදී පලා යන්නට උත්සාහ කරන විටය.
කෙසේ වෙතත් යහපත් සැලැස්මක් වුවත් ක්‍රියාත්මක කළ යුතු යහපත් විදිහක් තිබේ. මේ සිද්ධියෙන් කොළඹ සිවිල් ජනතාව පමණක් නොව, රටේම ජනතාව තිගැස්සුනේය. ආරක්ෂක අංශ විපිළිසර විය . පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හොඳ දේ හරි ක්‍රමයට කර නැති බව පමණක් පෙනුනේය.







