විදෙස් රටවලින් මෙරටට රැගෙන එනු ලබන මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා ‘මත්ද්‍රව්‍ය විරෝධී’ බලඅධිකාරියක් ( Anti-Narcotic Command) ස්ථාපිත කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පැවසුවේය .
ත්‍රිවිධ හමුදාව සහ රාජ්‍ය බුද්ධි සේවාව එක්ව විදෙස් බුද්ධි සේවාවන්ද සම්බන්ධ කර ගනිමින් අදාළ වැටලීම් සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට මෙමඟින් හැකියාව ලැබෙන බව ද ඔහු පෙන්වා දුන්නේය.
ඔහු මෙම අදහස් පළ කළේ පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ රුපියල් බිලියන 4 ක් පමණ වටිනා හෙරොයින් කිලෝ 200ක ප්‍රමාණය කොළඹ වරායට අද (24) රැගෙන ආ අවස්ථාවේ එය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය හා එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් ලද තොරතුරකට අනුව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක සමුද්රාරක්ෂා නෞකාව යොදවා ගාල්ලට බටහිර දෙසින් නාවික සැතපුම් 91 (කිලෝ මීටර් 168) දුරින් ගැඹුරු මුහුදේ සිදු කළ මෙහෙයුමකින් මෙම හෙරොයින් තොඟය අත්අඩංගුවට ගෙන මෙලස කොළඹ වරායට ගෙනවිත් තිබිණි.
මෙම ‘මත්ද්‍රව්‍ය විරෝධී’ ඒකකය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් මේ වන විට සකස් කරමින් තිබෙන බවත් ඉදිරියේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් සාගල රත්නායක ම සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය පිළිබඳ වැටලීම් සිදු කරමින් අත්අඩංගුවට ගනු ලබන්නේ 65% ක් තරම් වන ප්‍රමාණයක් බවත් ඉතිරි 35%ක ප්‍රමාණය රටට ගෙන එනු ලබන බවත් පෙන්වා දුන් සාගල රත්නායක මත්ද්‍රව්‍ය රටට ඇතුළුවීම සම්පූර්ණයෙන් වැළැක්වීම සඳහා නවීන වැඩපිළිවෙළක අවශ්‍යතාවය ද පැහැදිලි කළේය.







