දිනසේන රතුගමගේ –
ඉන්දියාවේ තූත්තුකුඩිය සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ හා කොළඹ අතර නැව් සේවාවක් ආරම්භ කිරීම සදහා ශ්‍රී ලංකා රජය අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත.
පසුගිය සතියේ ඉන්දියාවේ මුම්බායි නුවරදී පැවැති ජාත්‍යන්තර සමුද්‍රීය සමුළුවේදී මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කොට ඇති අතර මෙම නැව් සේවාව පවත්වා ගෙන යාම සදහා ඉන්දීය නැව් සමාගම් දෙකක්ද තවත් ගිවිසුම් දෙකකට අත්සන් කොට තිබේ.
ඒ අනුව දැනට ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මුහුදේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය පහව ගිය විගස එම නව් සේවාවන් දෙක ක්‍රියාත්මක කිරීමට ඉන්දීය නැව් සමාගම බලාපොරොත්තු වෙයි.
මෙම නැව් සේවාව මගින් භාණ්ඩ හා මගීන් ප්‍රවාහනය කෙරෙන අතර ප්රමුඛත්වයක් ලබා දෙනු ලබන්නේ භාණ්ඩ ප්‍රවාහනයට හා සෙසු වාණිජ කටයුතු වලට බව ඉන්දීය නැව් සමාගමේ විධායක අධ්යක්ෂවරයා ඉන්දීය මාධ්‍යයට ප්‍රකාශ කළේය.
ඉන්දියාවේ තූත්තුකුඩියේ වී.යූ.චිදම්බරනගර් වරායේ සිට කන්කසන්තුරේ හා කොළඹ වරායන් දක්වා මෙම නැව් සේවාව ක්‍රියාත්මක වෙයි.
මේ අතර තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ රාමේස්වරන් දක්වා අතීතයේ පැවති මගී ප්‍රවාහන නැව් සේවාවද යළිත් සක්‍රිය කිරීමට ඉන්දීය රජය හා ඉන්දීය නැව් සමාගම බලාපොරොත්තු වෙයි.







