අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් පුද්ගලයින් 50,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එහි දත්ත වාර්තාවට අනුව මේ වන විට දිස්ත්‍රික්ක 12ක පවුල් 13,027ක පුද්ගලයන් 53,399ක් පීඩාවට පත්ව සිටිති. කොළඹ කළුතර, ගම්පහ, නුවරඑළිය, ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල, යාපනය, මඩකලපුව, පුත්තලම සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් මෙම ආපදා තත්ත්ව වාර්තා වී ඇත.
ඊට අමතරව හදිසි ගංවතුර සහ තද සුළං හේතුවෙන් නිවාස 720කට අර්ධ හානි සිදුව තිබේ.
රතු නිවේදන
මේ අතර නිල්වලා ගඟ දෙපස ජනතාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
ඉදිරි පැය 24 තුළ මිලි මීටර 100 ඉක්මවූ වර්ෂාවක් බලාපොරොත්තුවන වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කළ පුරෝකථනයට අනුව වැසි තත්ත්වයක් ඇතිවුවහොත් මේ වනවිටත් පිටාර මට්ටමේ ඇති නිල්වලා ගඟේ විශාල ගංවතුර ආරක්ෂණ බැමි ඇතැම් ස්ථානවලින් ජලය උතුරා යා හැකි බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව කියන්නේය.
මේ හේතුවෙන් මාතර, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ, අතුරළිය සහ අකුරැස්ස යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් නිල්වලා ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවල විශාල මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට ඔවුන් අනතුරු අඟවමින් කියා සිටින්නේ ජනතාවට දැඩි සැලකිලිමත්ව සිටින ලෙසය.
ඉදිරි පැය 24
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරි පැය 24 තුළත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේය.
එමෙන්ම බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි වන බව එම දෙපාර්තමේන්තුව පුරොකථනය කර ඇත.
නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වලත් මාතලේ සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.







