දිනසේන රතුගමගේ –
යාපනයේ ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධව කතා කළ හැකි එකම ස්ථානය වූ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව කීප දෙනෙකුගේ බූදලයක් වී ඇති බවත් එය සම්පූර්ණයෙන්ම ආණඩුකරණය වී ඇති බවත් පවසන දෙමළ ජාතික සන්ධානය මේ පිළිබඳව හැකි ඉක්මනින් ජනාධිපතිවරයා දැනුම්වත් කරන බව පවසයි.
මේ ගැටලුව වඩාත් උග්‍රව මතු වී ඇත්තේ යාපනයේ තවත් මත්පැන් අලෙවිසල් තුනක් සඳහා නව මත් පැන් බලපත්‍ර ලබා දීමට විරෝධය නොතකා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව එකඟ වීමත් සමගය.
මේ සම්බන්ධව ප්‍රකාශයක් කරමින් දෙමළ ජාතික සන්ධානය පවසන්නේ යාපනයේ තෙලිප්පලෙයි ප්‍රදේශයේ අළුතින් ආරම්භ කිරීමට යන මත්පැන් අලෙවි සැලට අවසර ලබා නොදෙන ලෙස යාපනය දිසිත්‍රික් සංවර්ධන කමිටුවෙන් ඉල්ලා සිටියදී කමිටුව එය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයකට එළඹෙන බවය.
අවශ්‍ය තරමටත් වඩා වැඩියෙන් යාපනයේ මත්පැන් අලෙවි සැල් තිබියදී තවත් මත්පැන් අලෙවි සැල් කීපයකටම අවසර ලබා දීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය තරයේ විරුද්ධ වන බව උතුරු පළාත් සභාවේ හිටපු සභාපති සී.වී.කේ ශිවඥානම් කමිටුවට ප්‍රකාශ කළත් කීප දෙනෙකු එම ප්‍රකාශය ගණනකට නොගෙන ඔවුන්ගේ අභිමතය පරිදි යාපනයේ අළුතෙන් මත්පැන් ශාලා තුනක් ආරම්භ කිරීමට අනුමැතිය ලබා දුන් බව දෙමළ ජාතික සන්ධානය කියා සිටියි.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය යාපනයේදී සාකච්ඡාවක් පැවැත් වූ අතර එහිදී දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් ප්‍රකාශ කොට ඇත්තේ යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම කීප දෙනෙකුගේ බූදලයක් බවට පත් වීමට ඉඩ නොතැබිය යුතු බවයි.
යාපනයේ ජනතාවගේ ප්‍රශ්න හා ගැටළු විසදා ගැනීමට ඇති එකම ස්ථානය මෙය බැවින් එය පූර්ණ දේශපාලනීකරණය වීමකට හෝ ආණ්ඩුව නියෝජනය කරණ අයගේ පරම අයිතියක් බවට පත් නොවිය යුතු බවත් ප්‍රකාශ කොට ඇත.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැණුවත් කිරීම අත්‍යවශ්‍ය බවත් එය ඉතා ඉක්මනින්ම සිදු කළ යුතු බවත් මේ සාකච්ඡාවේදී තීරණය කොට තිබේ.







