හැටන් රංජිත් රාජපක්ෂ
මල්වතු මහනායක හිමියන් ලෙස පෙනී සිටිමින් දුරකථන ඇමතුම් දෙමින් පිටරට රැකියාවලට යවන බව පවසා දිවයින පුරා මහා පරිමාණයෙන් ලක්ෂ ගණනින් මුදල් වංචාවන් සිදු කළ පුද්ගලයෙකු නුවරඑළිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන නුවරඑළිය වැඩබලන මහේස්ත්‍රාත් කේ.ඩී.විජේවික්‍රම වෙත (28) දින ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරු මේ මස (12) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කලහ.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ගාල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 51 වයසැති සිරිමල් ප්‍රියන්ත නැමැති පුද්ගලයෙකි.
සැකකරු නුවරඑළිය සඳතැන්න ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් වංචනික ලෙස රුපියල් එක් ලක්ෂ තිස් හත් දහසක මුදලක් (රු.1,37000.00) ලබා ගත් බවට ලද පැමිණිල්ලක් මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව නුවරඑලිය පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළ නුවරඑලිය පොලිසියේ ආපරාධ විමර්ශන අංශයේ නිලධාරින් සැකකරු ජාතික පුවත්පත්වල පළවන ඉඩම් හා දේපල විකිනීම් සම්බන්ධ දැන්වීම් අනුසාරයෙන් ධනවත් පුද්ගලයන්ගේ දුරකථන අංකවලට ඇමතුම් ලබා ගනිමින් තෙරුවන් සරණ පතා දුරකතන ඇමතුම ආරම්භ කර තමන් මල්වත්තේ මහ නායක ස්වාමින් වහන්සේ ලෙස පෙනී සිටිමින් කතාව ආරම්භ කරන බව හෙළි වී තිබේ.
අනතුරුව තමන්ගේ සහෝදර සහෝදරියන් ඕස්ට්‍රේලියාවේ පදිංචි බවත් , තම මිතුරෙකු ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස්වරයෙකු ලෙසත් පවසා මුලින්ම තමන්ගේ සහෝදරයාට ඉඩමක් නිවසක් මිලදී ගැනීමට අවශ්‍ය බව පවසමින් සූක්ෂම ලෙස එම පුද්ගලයන් සමඟ හිතවත්කමක් ගොඩ නගා ගනිමින් ඉන් අනතුරුව එම හිතවත්කම මත ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඕස්ට්‍රේලියා රටට රැකියා සහ අධ්‍යාපන කටයුතු සඳහා කිසිදු මුදලක් අය නොකර කඩිනමින් පිටත් කරවන බවට පවසා මෙම මුදල් වංචාව සිදු කර ඇති බව නුවරඑලිය පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි කීවේය.
ලියාපදිංචි ගාස්තු වශයෙන් රුපියල් එක් ලක්ෂ තිස් දාහක මුදලක් පමණක් ගෙවිය යුතු බව සදහන් කරමින් එම මුදල් අත්තඩංගුවට ගත් සැකකරු සතු බැංකු ගිණුම් වෙත ගෙන්වා ගෙන මෙම මුදල් වංචා සිදුකර ඇති බවට සිදු කරන ලද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත .
බොහෝ අවස්ථාවලදී ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා ලෙස ද පෙනී සිට දුරකථන ඇමතුම් වලට පිළිතුරු ලබාදීමටද මෙම පුද්ගලයාම කටයුතු කර ඇතැයි ,විමර්ශනවලදී හා සාක්ෂි සටහන් කර ගැනීමේදී අනාවරණ වී ඇති බවද ප්‍රේමලාල් හෙට්ටිආරච්චි කීවේය.
එලෙස මුදල් ගෙන්වා ගැනීමේදී ජාතික හැඳුනුම්පත් ද සැකකරු විසින් ගෙන්වාගෙන ඇති අතර එලෙස ගෙන්වාගන්නා ජාතික හැඳුනුම්පත්වල පිටපත් ලබාදී තවත් පුද්ගලයන් රැවටීම සඳහා සැකකරු සිම් පත් 100ත් 120ත් අතර ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බවද මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ.
සැක කටයුතු පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේදී දුරකථන 11ක් , ටැබ් යන්ත්‍රයක් , අන්තර්ජාල සැපයුම උපකරණ , බැංකු ගිණුම්වලට මුදල් තැන්පත් කළ රිසිට්පත් විශාල ප්‍රමාණයක් , විවිධ නම් වලින් සැකසුනු ලද නිල මුද්‍රා තොගයක් , දුරකථන අංක ලියා ගැනීමට භාවිතා කළ පොත් කිහිපයක් , විවිධ පුද්ගලයන්ගේ නම් වලින් සැකසූ විසිටින් කාඩ් පත් විශාල ප්‍රමාණයක් ඔහු සතුව තිබී අත්අඩංගුවට ගැනීමට අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් සමත් වී තිබේ.

වංචනික ලෙස මුදල් ලබා ලබාගැනීම වෙනුවෙන් ව්‍යාජ ලෙස සැකසූ ජාතික හැඳුනුම්පත් කිහිපයක් භාවිතා කරමින් බැංකු ගිණුම් 15කට ආසන්න ප්‍රමාණයක් මෙම පුද්ගලයා විසින් පවත්වාගෙන ගොස් තිබේ.
ව්‍යාජ ජාතික හැඳුනුම්පත් භාවිතා කරමින් බහු විවාහයන් ද සිදුකර ඇති බවත් එම විවාහයන්ගෙන් දරුවන්ද සිටින බවත් වංචනික ලෙස උපයන මුදලින් සිය බහු විවාහ නඩත්තු කරමින් කාන්තාවන් සමඟ සුඛෝපභෝගී ජීවිතයක් ගත කර ඇති බවත් නුවර එළිය පොලිසියේ අපරාධ විමර්ශන අංශය හෙළි කරගෙන ඇත.
මෙම පුද්ගලයාට විරුද්ධව ව්‍යාජ ලෙස සකස් කරන ලද ජාතික හැඳුනුම්පත් වල නම් ගම් වලට අනුව මතුගම , මහර , පන්නිල , කොළඹ කොටුව , කෑගල්ල , දඹුල්ල , නුවරඑළිය , ගාල්ල බලපිටිය , අනුරාධපුර , නුගේගොඩ , කළුතර , අලුත්කඩේ යන අධිකරණ වල මුදල් වංචා කිරීම අධිකරණය නොමග යැවීම බහු විවාහයක් සිදු කිරීම වෙනත් පුද්ගලයන් ලෙස පෙනී සිටීම හා කූට ලේඛන සැකසීම ඇතුළු වැරදි රාශියක් සම්බන්ධව නඩු කටයුතු ද විශාල ප්‍රමාණයක් පැවැත්වෙන බව ද අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයා ඉකුත් (28) දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන ඔක්තෝම්බර් 12 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුවරඑළිය වැඩබලන මහේස්ත්‍රාත් කේ.ඩී.විජේවික්‍රම නියෝග කර ඇත.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ නුවරඑළිය දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මනගේ ප්‍රධානත්වයෙන් හා නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චිගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් සිදු කර ඇත.







