ගන්නෝරුව පශු වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සිදුව ඇතැයි කියන රුපියල් එක්කෝටි පනස් අට ලක්ෂයක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරිවරයා විසින් කරන ලද පැමිණිල්ල පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මේ වනවිට එම විමර්ශනයට අදාලව පශු වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නිලධාරීන් හා සේවකයින් කිහිප දෙනෙකුගෙන් ද එම ආයතනයෙන් සේවා ලබාගත් පුද්ගලයින් පිරිසකගෙන් ද ප්‍රකාශ ලබාගෙන ඇත.
පශු වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂවරයාට ද අයකැමි විසින් මුදල් බාර ගැනීම් වලට අදාළව නිකුත් කළ රිසිට් පත් හා එම තොරතුරු ඇතුළත් කරන පොත්පත් රැගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස දැනුම් දී තිබේ.
සේවා ලබා ගැනීම සඳහා ආයතනයට පැමිණෙන පුද්ගලයින්ට ඔවුන් ලබාගත් සේවයට අදාළව අය කරන මිල ගණන් සඳහන් කර රිසිට් පතක් නිකුත් කිරීමෙන් පසු ආයතනයේ තබා ගන්නා එහි පිටපතේ අයගන් වෙනස් කර වසර පහක පමණ කාලයක් තිස්සේ අයකැමිවරිය මෙම මූල්‍ය වංචාව සිදුකර තිබෙන බව අනාවරණය වීමෙන් පසු සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය ජූලි මස 27 දින ය.
අදාළ වංචාව සම්බන්ධයෙන් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් ද අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ ඇත. මෙයට අමතරව රජයේ හා එම දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණන අංශ මගින් ද විගණනයක් සිදුකර තිබේ.







