දයාසිරි ජයසේකර ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන් ඉවත්කර තිබේ. තමන් ධූරයෙන් ඉවත් කළ බවට වූ ලිපිය ඊයේ (05) රාත්රියේ තමාට ලැබුණු බව දයාසිරි ජයසේකර මන්ත්රීවරයා ප්රකාශ කරයි.
එමෙන්ම ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්රීපාල සිරිසේන සිය අත්සනින් යුතු ලිපියක් හිටපු මහලේකම්වරයා වෙත යොමු කර දන්වා ඇත්තේ ඔහුගේ පක්ෂ සාමාජිකත්වය ද තහනම් කර ඇති බවය.
හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේනගේ නිවසේදී ඊයේ (05) රැස්වූ දේශපාලන මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ.
ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන බවත් ඉදිරි දින 14 තුළ එම විනය කඩකිරීමට අදාල චෝදනා පත්රය ඉදිරිපත් කරන බවත් මෛත්රීපාල සිරිසේන සභාපතිවරයා විසින් එවූ එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මේ පිළිබඳව දයාසිරි ජයසේකර මන්ත්රිවරයා පවසන්නේ තමන් කවදත් පක්ෂයට පක්ෂපාතීව කටයුතු කළ බවත් ජනතාව වෙනුවෙන් සාමූහික තීරණයක් ගන්නා ලෙස පක්ෂයෙන් ඉල්ලා සිටින බවත්ය.







