විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය නිසි සමාලෝචනයකින් අනතුරුව එම ක්‍රියාවලියට සම්පුර්ණයෙන්ම සහයෝගය දැක්වීමට චීනය ප්‍රතිඥා දී ඇති බවත් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ඒ පිළිබඳ සාකච්ඡා සඳහා නුදුරේදීම බීජිං බලා පිටත්ව යාමට නියමිත බවත් ඩේලි මිරර් වාර්තා කරයි.
ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණය හිමියා චීනය ය. 2020 අවසානය වන විට ශ්‍රී ලංකාව චීනයේ එක්සිම් බැංකුවට ඩොලර් බිලියන 2.83 ක් ණය වී ඇත.
China Africa Research Initiative ආයතනයේ ගණනය කිරීම්වලට අනුව අනුව 2022 අවසානය වන විට ශ්‍රී ලංකාව චීනයට ද්වී පාර්ශ්වික ණය ගිවිසුම් හරහා ඩොලර් බිලියන 7.4 ක් ණය වී තිබේ. මේ වනවිට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සම්බන්ධ වීමට චීන රජය EXIM බැංකුවට අවසර දී ඇත.
අනෙක් විශාලම ණය හිමියන්වන්නේ ඉන්දියාව සහ ජපානයයි.
ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් ද්විපාර්ශ්වික ණය හිමියන් අතර සාකච්ඡා සඳහා පොදු වේදිකාවක් දැන් ප්‍රකාශයට පත් කර ඇත.
පසුගියදා චීනයට ගිය විදේශ අමාත්‍ය අලි සබ්රි EXIM බැංකුවේ සභාපති Wu Fulin සමඟ සාකච්ඡා පැවැත්වීය. දැනුවත් මූලාශ්‍රයකට අනුව, චීන බලධාරීන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ඵලදායී සහතිකයක් ලබා දී ඇතැයි ඩේලි මිරර් කියයි.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය අතර සාකච්ඡා චීනය විසින් නිරීක්ෂණය කරනු ඇති බව මූලාශ්‍රය පවසයි.
සියලුම ණය හිමියන්ට සමානාත්මතාවයෙන් යුතුව සැලකීමට ශ්‍රී ලංකා රජය සහතික වී තිබේ.
“ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා විධිවිධාන සකස් කිරීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ළඟදීම චීනයට යනවා. එය සැමට පිළිගත හැකි විසඳුමක් වනු ඇති. චීනය අනෙකුත් ණය හිමියන් සමඟ ගිවිසුම් නිරීක්ෂණය කරනු ඇති. පසුව ණය ප්‍රතිව්‍යුගත කිරීම වෙනුවෙන් චීනය ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික ගිවිසුමකට එකඟ වනු ඇතැයි විශ්වාස කරනවා” ඩේලිමිරර් සිය මූලාශ්‍ර මත පදම්ව වාර්තා කර තිබේ.
රජයේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ (DDR) වැඩසටහන සෙනසුරාදා පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලදී.







