සිම්බාබ්බේ හි පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී අයර්ලන්තය පරදවා පන්දු 11ක් ඉතිරිව තිබිය දී කඩුළු 05ක පෙරළිකාර ජයක් වාර්තා කිරීමට ඕමාන කණ්ඩායම අද (19) සමත් වූයේය.
කාසියේ වාසිය දිනූ ඕමාන කණ්ඩායම මුලින්ම පන්දු රැකීම තේරුවේය.
පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායම පන්දු ඕවර 50 අවසන් වනවිට කඩුළු 07ක් දැවී ලකුණු 281ක් ලබා ගත්හ. නායක හැරී ටෙක්ටර් පන්දු 82ක දී ලකුණු 52ක් ලැබුවේය.
පන්දු යැවීමේ දී ඕමාන කණ්ඩායම වෙනුවෙන් බිලාල් ඛාන්, ෆයියාස් බට්, කඩුළු 02 බැගින් ලැබූහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමාන කණ්ඩායමෙන් අර්ධ ශතක 03ක් වාර්තා විය. ආරම්භක පිතිකරු කාශ්‍යප් ප්‍රජාපතී පන්දු 74ක දී ලකුණු 72ක් වාර්තා කරමින් කදිම ඉනිමක් ක්‍රීඩා කළේය.
අකීබ් ඉල්ලියාස් පන්දු 49 ක දී ලකුණු 52ක්, නායක සීෂාන් මක්සූඩ් පන්දු 67 දී ලකුණු 59ක්, මොහොමඩ් නදීම් පන්දු 53ක දි නොදැවී ලකුණු 46ක් ලැබුවේය.
ඕමාන කණ්ඩායම පන්දු ඕවර 48.1 ක දි ජයග්‍රාහී ඉලක්කය වූ ලකුණු 281 ඉක්මවා ගියේ කඩුලු 05ක් පමණක් දැවී තිබිය දී ය.
අයර්ලන්තය වෙනුවෙන් ජොස් ලිට්ල් සහ මාර්ක් අදායි කඩුළු 02 බැගින් බිඳ හෙලූහ.
ඕමාන කණ්ඩායමේ සීෂාන් මක්සූඩ් තරගයේ වීරයා ලෙස නම් කෙරිනි.







