මනම්පිටිය නිමල් ජයරත්න –
-
ලෝකයේ කොහෙවත් යූරියාවල පණුවො නෑ… රජය අපහසුතාවයට පත් කළ නිසා පොලිසියට පැමිණිලි කරලා නඩු දානවා – ඇමතිගේ ලේකම් වන්නිනායක
-
යූරියා මිටියක පණුවො හිටිය වග පිළිගන්නවා… ඒ සාම්පල් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙ ඉදිරි පරීක්ෂණ සඳහා යොමු කළා – මනම්පිටිය ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරී
රජයේ පොහොර සහනාධාරය යටතේ මෙවර මහ කන්නය, සඳහා ගොවිජන සේවා මධ්‍යස්ථානය හරහා ලබාදුන් යූරියා පොහොරවල පණුවන් සිටින බවට මනම්පිටිය කෘෂිකර්ම නිලධාරී සහ මහවැලි නිලධාරින් පිළිගත්තද කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ලේකම්වරයෙකු මේ සිදුවීම ප්රතික්ෂේ කරමින් සිද්ධිය සම්බන්ධව මාධ්‍යයට ප්‍රකාශයක් කළ ගොවීයාට දුරකථන ඇමතුම් ලබාදී තර්ජනය කර ඇතැයි වාර්තා වේ.
මෙම තර්ජන සහ බියවැද්දීම් සම්බන්ධව මේ වනවිට ප්‍රදේශයේ ගොවි ජනතාව සිය දැඩි අප්‍රසාදය පල කර ඇත.
දිඹුලාගල මනම්පිටිය ප්‍රදේශයේ 46 වියති එන්. ජී සරත් කුමාර නැමැති ගොවියෙක් විසින් තම කුඹුරට යෙදීම සඳහා රැගෙනගිය යූරියා පොහොර මිටිය තුළ හමු වූ කළු පැහැති කුඩා පණුවන් පිළිබඳව ලංකාසර ඊයේ (26) අනාවරණය කළේය.
ඒ අනුව අද (27 ) කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අරලගංවිල පර්යේෂණ මධ්‍යස්ථානයේ නිලධාරීන් කීප දෙනෙක්, මනම්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සහ මහවැලි අධිකාරිය නිලධාරීන් පිරිසක් සමග පැමිණ ඒ පොහොර පරීක්ෂා කර ඇත.
එහි දී යූරියා පොහොර තුළ පණුවන් සිටින බවට නිරීක්ෂණය විය.
එම අවස්ථාවට මනම්පිටිය ගම්මානයේ ගොවි සංවිධාන සභාපතිවරයා ඇතුළු ගොවීන් පිරිසක්ද එක්ව සිටියේය. ඔවුන්ටද යූරියා පොහොර තුළ පණුවන් සිටින බවට නිරීක්ෂණ වී ඇත.
අනතුරුව පණුවන් සහිත යූරියා සාම්පල් රැගෙන යාමට කෘෂිකර්ම නිලධාරීහු කටයුතු කළහ.

ඊයේ සරත් කුමාර විසින් පණුවන් පස්දෙනකු, යූරියා පොහොර සමඟ කුඩා භාජනයකට දමා තිබිණි. අද ( 27 ) වන විටද එහි එක් පණුවෙකු ජීවත්ව සිටි බව පැමිණි පර්යේෂණ නිලධාරීන් සහ ගොවීන්ට දැකගැනීමට හැකි විය,
එලෙස පැමිණි පර්යේෂණ නිලධාරීන් ඇස් ඉදිරිපිට යූරියා පොහොර මිටිය ඇතුළේ පණුවන් සිටින බවට තහවුරු කර ගත්ත ද කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ලේකම්වරයෙකු බව පවසා වන්නිනායක නැමැති නිලධාරියෙක් මෙම ගොවි මහතාට දුරකථන ඇමතුමක් ලබා දී රජය අපහසුතාවයට පත් කිරීමට කටයුතු නොකරන ලෙසත්, අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තු සහ පොහොර ලේකම් කාර්යාලයට ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙසට උපදෙස් ලබාදුන් දන්වා ඇත. ලෝකයේ කොහෙවත් යූරියා පොහොර තුළ පණුවෙක් හමුවී නොමැති බැවින් එය ඔප්පු කිරීමට නොහැකි වුූවොත් තමාට හිරේ යාමට සූදානම් වන ලෙස ද දන්වා තිබේ.
අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය තුළ කටයුතු කරන වන්නිනායක නැමැති මෙම නිලධාරියාට අප දුරකථන ඇමතුමක් ලබා දුන් විට ඔහු පැවසුවේ යූරියා පොහොර මිටිය තුළ කිසිදු පණුවෙක් සිට හමු වී නොමැති බවය., ඒ සම්බන්ධයෙන් කෘෂිකර්ම සහකාර අධ්යක්ෂවරයා හරහා පොලිසියට පැමිණිල්ලක් යොමු කිරීමට කටයුතු කරන බවත් ඔහු පැවසුවේය.

අප මේ පිළිබඳව මනම්පිටිය ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරී සුබෝධ බණ්ඩාරගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ යූරියා පොහොර මිටිය තුළින් පණුවන් හමු වු බව පිළිගැනීමට සිදුවන බවය.
ඒ පිළිබඳ ඉදිරි පරීක්ෂණ කටයුතු කිරීමට, ලබාගත් සාම්පල් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට යොමු කරන බව ද ඔහු පැවසුවේය.
මේ ලිපියත් කියවන්න…
වෙන්න බෑ කිව්වට වෙලා… ආණ්ඩුවේ යූරියා පොහොරවලිනුත් පනුවන් මතු වේ!








