පානදුර මූලික රෝහලට පසුගිය ජනවාරි 17 වැනිදා සිට මේ දක්වා නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකු නොමැති වීම හේතුවෙන් රෝහලේ සියලු ශල්‍ය සේවා නැවතී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
එම රෝහලේ සිටි වෛද්‍යවරයා අනුප්‍රාප්තිකයෙකුගෙන් තොරව විදේශ පුහුණුවකට යැවීමෙන් පසු මේ තත්ත්වය උද්ගත වී ඇති තිබේ.
එහි විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් සිව්දෙනෙකු හදිසි සැත්කම් සඳහා සූදානමින් සිටිය ද, ඔවුන්ගේ සේවාව නොගෙන රෝගීන් වෙනත් රෝහල්වලට යොමු කිරීම සිදු ව ඇති බව එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.
දිනකට රෝගීන් 200ක් පමණ හදිසි ප්‍රතිකාර සඳහා යොමු වන “ ඒ“ ශ්‍රේණියේ මූලික රෝහලක් වන පානදුර රෝහල මේ තත්ත්වය හේතුවෙන් රෝගීන්ට ලබා දුන් සේවාවේ ගුණාත්මකභාවය දැඩි ලෙස පිරිහී ඇති බවට මෙම ආරංචි මාර්ග පවසයි.
රෝහලේ දැඩි සත්කාර ඒකකයක් පැවතිය ද, හදිසි අවස්ථාවලදී අවශ්‍ය වුවහොත් නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකු නොමැති වීම හේතුවෙන් එම දැඩි සත්කාර ඒකකයේ සේවය ද නිසිලෙස ලබා දිය නොහැකි බව රෝහල් සේවකයෙකු ‘ලංකාසර’ට පැවසීය.
මේ පිළිබඳව රෝහල් පරිපාලනය සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කර ඇති අතර තාවකාලිකව, පානදුර කේතුමතී මාතෘ රෝහලේ සිටින නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාගේ සේවය ලබා ගන්නා ලෙස දන්වා ඇතත් පවතින තත්ත්වය මත ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන් වේ.
කේතුමතී රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා පානදුර මූලික රෝහලේ කටයුතුවලට සම්බන්ධ කර ගැනීම පිළිබඳව රෝහල් බලධාරීන් අතර සාකච්ඡා සිදුව ඇති නමුත්, එක් වෛද්‍යවරයෙකුගේ සේවය රෝහල් දෙකකට ලබා ගැනීමේදී රෝහල් දෙකටම මතුවෙන ප්‍රායෝගික දුෂ්කරතා පිළිබඳ එහිදී අවධානය යොමු වී ඇති බව සඳහන් වේ.
විශේෂයෙන් කේතුමතී රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටින මව්වරුන් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු අතර එහිදී නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුයෙකුගේ සේවය අතිශය තීරණාත්මක බව සාකච්ඡා වී තිබේ.
එවැනි පසුබිමක් තුළ එකම වෛද්‍යවරයෙකු රෝහල් දෙකක ශල්‍යාගාර පද්ධති දෙකක හා දැඩි සත්කාර ඒකක දෙකක වගකීම් ගැනීම ප්‍රායෝගික නොවන බැවින් වහාම පානදුර මූලික රෝහලට නිර්වින්දන වෛද්‍යවරයෙකු ලබාදෙන ලෙස එම රෝහලේ වෛද්‍යරු සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා සිටියි







