ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 2023/2024 නිලවරණයට නාමයෝජනා භාරදීම අද (11) අවසන් වූ අතර එහිදී සභාපති ධුරය සඳහා නීතිඥ කෞශල්‍ය නවරත්නද ලේකම් ධූරය සඳහා ඉසුරු බාලපටබැඳිත් නාම යෝජනා බාර දුන්නේය.
අද දහවල් 12 දක්වා නාමයෝජනා භාරදීමට අවස්ථාව ලැබුණු අතර වෙනත් කිසිදු අපේක්ෂකයෙකු නාමයෝජනා භාරදීම සිදු නොකළහොත් නාමයෝජනා බාරදුන් ඔවුන් දෙදෙනා නිතරගයෙන් එම තනතුරු සඳහා පත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධූරය සඳහා නීති ක්ෂේත්රයේ ප්‍රවීණයකු වන නීතිඥ කෞශල්‍ය නවරත්න ඉදිරිපත් කෙරුණේ , ආචාර්ය කේ. කනග් ඊශ්වරන්, ආචාර්ය ෆයිස් මුස්තෆා, ආචාර්ය රොමේෂ් ද සිල්වා, ඉක්රම් මොහොමඩ්, කුෂාන් ද අල්විස්, කාලිංග ඉන්දතිස්ස, සංජීව ජයවර්ධන, යූ. ආර් ද සිල්වා, නලින්ද ඉන්දතිස්ස, චන්දක ජයසුන්දර, ජගත් වික්‍රමනායක සහ ශිරන්ති ගුණවර්ධන යන ජනාධිපති නීතිඥවරුන් ගේ යෝජනා ස්ථිරත්වයෙනි.
පසුගිය වසර කිහිපය තුළ ප්රමුඛ පෙලේ ජනාධිපති නීතීඥවරුන් සහ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් ඇසුරේ පෝෂණය වූ කෞෂල්‍ය නවරත්න නීති ක්ෂේත්රයේ වසර 26 කට අධික කාලයක වෘත්තිය අත්දැකීම් ඇති ප්‍රවීනයෙකි . එසේම ඔහු සාර්ථක නීති වෘත්තිකයෙක් බවට පත් වූ කනිෂ්ඨයන් විශාල සංඛ්‍යාවක් බිහිකිරීමට දායකත්වය සැපයූ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකු ද වෙයි.
1997 ජූනි මාසයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයෙකු වශයෙන් දිවුරුම් දුන්නේය.
මේ වන විට නීතිඥ කෞෂල්‍ය නවරත්න ප්‍රධාන වශයෙන් බැංකු, රක්ෂණ, බුද්ධිමය දේපල, සමාගම් නීතිය, විදුලි සංදේශ, මුදල් අය කර ගැනීම්, ගිවිසුම්, අපහාස, විවාහ ආරවුල්, ඉඩම් කොටස් කිරීම සහ කුලී සහ නෙරපා හැරීම ඇතුළත් සිවිල් නීතිය සහ වාණිජ නීතිය යන ක්ෂේත්‍ර සම්බන්ධ විශේෂඥ දැනුමැති නීතිඥවරයෙකු ලෙස කීර්තියට පත්ව ඇති අතර, බැංකු සහ සංස්ථාපිත ආයතනවල නීති උපදේශකවරයෙක් ලෙස ද කටයුතු කරයි.
කෞෂල්‍ය නවරත්නට නීතිඥ වෘත්තියේ ඉහළම සම්ප්රදායයන්, ගරුත්වය, වෘත්තීය ආචාර ධර්ම, සම්මතයන් සහ නීතිඥ සංගමයේ නොසැලෙන ස්වාධීනත්වය රැක ගනිමින් සේවය කිරීමට හැකියාවක් ඇති බව නීති ක්ෂේත්රයේ ප්‍රවීනයන්ගේ මතය වී තිබේ.








