කොළඹ ජාතික රෝහලට අද සවස ඇතුළත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බාහිර රෝගී අංශයේ හදිසි ප්‍රතිකාර ඒකකය (ETU) වෙත යොමු කළ බව කොළඹ ජාතික රෝහලේ ආරංචි මාර්ග පවසයි.
හිටපු ජනාධිපතිවරයාගේ අධි රුධිර පීඩන මට්ටම සහ ශරීරගත සීනි ප්‍රමාණයේ වැඩිවීම නිසි ආකාරයෙන් කළමනාකරණය කරගැනීම සඳහා මෙම හදිසි ප්‍රතිකාර ඒකකයට යොමු කළ බවත්, ඔහුට දැඩි අසනීප තත්ත්වයක් නොමැති බවත් රෝහල් ආරංචි මාර්ග තහවුරු කළේය.
ඔහු හෘද රෝග තත්ත්වයෙන් පෙළෙන බැවින් ඒ සම්බන්ධව ද දැඩි අවධානය යොමු කර ඇතැයි පවසන එම ආරංචි මාර්ග දන්වා සිටින්නේ හිටපු ජනාධිපතිවරයාගේ තත්ත්වය සාමාන්‍ය අතට පත් වූ වහාම ප්‍රභූවරුන් වෙනුවෙන් වෙන් කර ඇති ගෙවන අංක 15 ගෙවන වාට්ටුවට යොමු කිරීමට සූදානම් කර ඇති බවය.
තව දුරටත් ප්‍රතිකාර අවශ්‍ය නම් ජාතික රෝහලේ වෛද්‍ය දැඩි සත්කාර ඒකකය සූදානම් කර ඇති බව ද එම විශේෂ ආරංචි මාර්ග තහවුරු කළේය. හිටපු ජනාධිපතිවරයාට පපුවේ වේදනාවක් ඇති වී තිබෙන බවත්, රුධිර පීඩන මට්ටම අඩු නොවන බවත්, විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක විශේෂ අධීක්ෂණය යටතේ ඔහු ප්‍රතිකාර ලබන බවත් රෝහල් ආරංචි මාර්ග කියයි.







