ජාලිය වීරක්කොඩි –
රන්වලගේ රසපරීක්ෂක වාර්තාව ඉදිරිපත් විය යුතුව තිබුණේ අධිකරණයටය. 19 වැනිදා නඩුව මහර අධිකරණයේ කැඳවූ අවස්ථාවේ දී රන්වල බීමත්ව සිටියාද නැද්ද යන්න බව තහවුරු කරන රස පරීක්ෂක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසියට නොහැකි විය. පොලිසිය අධිකරණයට දන්වා සිටියේ රස පරීක්ෂක වාර්තාව ඊලඟ නඩු වාරයේ දී ඉදිරිපත් කරන බවය.
එසේ කියා පැය දෙකක් ගතවනවිට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනයක් නිකුත් කරමින් රස පරීක්ෂක වාර්තාව ලැබී ඇති බවත් රන්වල බීමත්ව සිටියේ නැති බවට රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවූ ලේ සහ මුත්‍රා සාම්පලවලින් තහවුරු වන බව රස පරීක්ෂකවරයා දන්වා ඇති බවත් කීවේය.
දැන් නැති ප්රශ්නයකි. අධිකරණයට ඉදිරිපත් කරන්නට පෙර රස පරික්ෂක වාර්තා මාධ්‍යයට නිකුත් කරන්නට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කටයුතු කළ සෑම අවස්ථාවකම රට පැටලවූ අවුලක් ඒ පසුපස තිබුණේය. මිද්දෙණියේ අයිස් කතාව ආසන්නම උදාහරණය ය. රස පරීක්ෂකවරයාගේ වාර්තාව අධිකරණයට පෙර මාධ්‍යයට ඉදිරිපත් විය. කඳානෙන් හමුවන ටැල්ක්වල අයිස් තිබුණා ද නැද්ද යන්න සම්බන්ධව රස පරීක්ෂකවාර්තාව ගැන පොලිසිය කතා නොකළා සේම අන්තරයාකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපතිවරයාත් ඔවුන්ගේ වාර්තාව ගැන කතා කළේ නැත. අවසානයේ දී ඒ වාර්තාව ගැන මාධ්‍ය අසන විට අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපතිතුමාට කේන්ති යන්නට පටන් ගත්තේය.
සාරා ජස්මින්ගේ සිද්ධිය තවත් එවැන්නකි. සයින්දමර්දුවල දී සාරා ජස්මින් නැමැති ත්‍රස්තවාදී ගැහැණිය මිය ගිය බවට කිසිම සාධකයක් රස පරීක්ෂක වාර්තා දෙකක දී තහවුරු වූයේ නැත. එහෙත් තුන්වන වරටත් සිදුකළ පරීක්ෂණයේ දි ඇය එම ස්ථානයේ මිය ගියබවට තොරතුරු ලැබෙන බව කියවිනි. එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් විය යුතු විය. නමුත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එය අධිකරණයට පෙර ඉදිරිපත් කළේ මාධ්‍ය වෙතය.
තවත් කතාවක් ඇත. ආන්දෝලනාත්මක සිද්ධි සම්බන්ධව රස පරීක්ෂක වාර්තා මාධ්‍යයට ඉදිරිපත් කරන්නේ නම් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් රන්වලටගේ සිද්ධියට පෙර මාධ්‍යයට නිකුත් කළ යුතු වාර්තාවක් තිබිණි. ඒ මහනුවර විශාලා මහනුවරක් බවට පත් වූ අවස්ථාවේ දීත් මහනුවර නියෝජ්‍ය පුරපතිවරයාගේ දියණිය ඇතුළු කණ්ඩායමක් පැවැත්වූ ෆේස් බුක් සාදයේ මත්ද්‍රව්‍ය පරීක්ෂණ වාර්තාවය.
තෙල්දෙණිය පොලිස් වසමේ බිම්පුස්ස ප්‍රදේශයේ පිහිටි එළිසෙබෙත් වික්ටෝරියා වෝටර්ගේට් හෝටලයේ පැවැති මෙම ෆේස් බුක් සාදයේ දී තෙල්දෙණිය පොලීසිය විසින් කොකේන්, කුෂ්, හෑෂ්, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය සමඟ තරුණයින් 23 දෙනෙකු හා තරුණියන් 04 දෙනෙකු අත්අඩංගුවට ගත්තේය.
වැටලීම සිදුකරන අවස්ථාවේ තරුණයින් 23 දෙනා සතුව තිබී අයිස් මිලි ග්‍රෑම් 3337 ක් , කුෂ් මිලි ග්‍රෑම් 1804 ක්, හෑෂ් මිලි ග්‍රෑම් 2840 ක්, කොකේන් මිලි ග්‍රෑම්380 ක් සහ මස්රූම් නැමැති නීති විරෝධී මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 840 ක් ද මත්පෙති හා නීති විරෝධීව මෙරටට ආනයනය කළ දුම්වැටි 12 ක් ද පොලීසිය විසින් සොයා ගත්තේය. තරුණයින් අත් අඩංගුවට ගන්නේ මත්ද්‍රව්‍ය ලඟ තබා ගැනීම සම්බන්ධව වරදටය.
තරුණියන් සිවු දෙනා අත් අඩංගුවට ගෙන පරික්ෂා කරද්දි ඉන් තරුණියයන් දෙදෙනෙක් මත්ද්‍රව්‍ය භාවිත කර නැතිබව තහවුරු විය. මත්ද්‍රව්‍ය භාවිත කළ තරුණියන් දෙදෙනා අතර නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ දියණිය සිටින බවත්, ඇය අයිස් සහ හෙරොයින් යන මත්ද්‍රව්‍ය දෙකම භාවිතා කර ඇතැයි තහවුරුවන බවත් වෛද්‍ය වාර්තා තහවුරු කළේය. ඒ පරීක්ෂණ වාර්තාව මාධ්‍යයට ආවේ නැත. ඇය සාදයට පැමිණ තිබුණේ පෙම්වතා සමගය. පෙම්වතා මත්ද්‍රව්‍ය ලඟ තබා ගැනීමේ වරදට අත් අඩංගුවේය.
මේ වනවිට රට පටලවා මිනිස්සුන්ගේ ප්‍රශ්න කිරීම්වටලට ආණ්ඩුවත් ලක්වෙමින් ඇත්තේ පොලිසියේ මේ අග මුල නැති අතාර්කික කෙරුවාවය. දැන් රන්වල සම්බන්ධව පොලිසියේ හැසිරීම පිළිබඳව පොලිසියම සිදුකළ විමර්ශන වාර්තාව නිකුත් වී තිබේ.
එම වාර්තාව අනුව රිය අනතුර සපුගස්කන්ද පොලිස් ස්ථානයට වාර්තා වීමෙන් පසු සපුගස්කන්ද පොලිස් ස්ථානයේ ස්ථානාධිපති සහ රථවාහන ස්ථානාධිපති විසින් පරීක්ෂණ ආරම්භ කළ ද අශෝක රන්වල වහාම අත් අඩංගුවට ගෙන අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් නොකිරීම හේතුවෙන් බරපතල ප්රශ්නය නිර්මාණය කර ඇත්තේ පොලිසියය.
රන්වලගේ පමණක් නොව, රිය අනතුරට ලක් වූ යතුරුපැදි කරු හෝ රිය අනතුරට ලක් වූ වාහනයේ රියදුරු ද මත්පැන් පරීක්ෂාවකට ලක් කර නැත. රන්වල සේම අනෙක් රියදුරන් දෙදෙනා ද අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර නැත. රන්වල කථා කර රනතුර සම්බන්ධව පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දැනුම් දෙන තුරු කිසිවෙක් ඒ සම්බන්ධව පොලිසිය දැනුම්වත් කර නැතිවීම පොලිසිය සහ මහ ජනතාව අතර ඇති සම්බන්ධයේ ස්වරූපය ගැන ප්‍රශ්න මතුවෙමින් ඇතැයි ද එම වාර්තාවේ දැක්වෙන්නේය.
වාර්තාව අනුව රිය අනතුර සම්බන්ධව සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයා රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා නිසි නෛතික ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් සිය රාජකාර පැහැර හැර ඇත. පොලිස් ස්ථානාධිපතිවරයා සහ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් තමන්ගේ රාජකාරිය පැවරූ කණිෂ්ඨ නිලධාරියා ද සැකකාර රියදුරු සම්බන්ධ විමර්ශනය කරනු තබා රියදුරු පරීක්ෂා කිරීමට අධිකරණ වෛද්‍ය පෝරමයක් හෝ කිරිබත්ගොඩ රෝහලේ දී නිකුත් නොකිරීම නිසා රාජකාරිය පැහැර හැර තිබේ. මේ සියලුම සිද්ධි දැනගෙන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ද කිසිම ක්‍රියාමාර්ගයක් නොගෙන රාජකාරිය පැහැර හැර ඇත. කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ද නොපමාව ඉදිරි පියවර ගැනීමට සිය නිලධාරීන්ට උපදෙස් ලබා නොදිමෙන්, නියෝග ලබා නොදීමෙන් සිය රාජකාරිය පැහැර හැර තිබේ. සිද්ධිය සම්බන්ධව රථවාහන මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර පෙත්තතන්ත්‍රී මූලිකත්වයෙන් යුතු කණ්ඩායම කළ විමර්ශනයේ දි ආනාවරණය වන්නේ රන්වල ගේ සිද්ධියේ දි පොලිසිය එක මිටට සිය රාජකාරි වගකීම පැහැර හැර ඇති බවය.
කෙසේ වෙතත් මේ සිද්ධිය සම්බන්ධව රාජකාරියට බාධාවන ආකාරයේ එකම දුරකථන ඇමතුමක් හෝ ලැබී නැති ආකාරය වාර්තාවේ දැක්වේ. ලැබෙන එකම දුරකථන ඇමතුම රන්වලගෙනි. ඒ අනතුර වාර්තා කිරීම සඳහා ය. එනම් සිද්ධිය ආවරණය කරගැනීම සඳහා දේශපාලන බලපෑම් තිබී නැත. වැඩේ හාන්නේ පොලිසිය ය. මේ වනවිටත් ඒ සීසෑම ඉවර නැති බව පෙනෙන්නේය. දැන් රන්වලගේ රස පරීක්ෂක වාර්තාවත් ප්‍රශ්න කරන තැනට පොලිසිය සමාජයම රැගෙන විත් ඇත.
දැන් ජාතික රෝහලේ වැඩ කරන බව කියන රන්වලගේ පුතා ගැනත් මිනිස්සු කතා කරති. ඒ මැදිහත්වීම මත රන්වල ජාතික රෝහලේ රැඳි සිටින බවත්, ඔවුන් විසින් ලබා දෙන උපදෙස් මත සිය රෝග ලක්ෂණ ප්‍රකාශ කරමින් සිටින බවත් කියති. මහර අධිකරණයට නඩුව ගොනු කළ අවස්ථාවේ දී මහේස්ත්රාත්වරයාත් ප්‍රශ්න කර සිටියේ රිය අනතුරින් බරපතල හානි වන්නේ රිය අනතුරට ලක් වූ අයට ද එසේත් නොමැති නම් රිය අනතුර සිදුකළ පුද්ගලයාට ද යන්නය.
මේ සියල්ල හරහා දැන් කිව යුත්තක් තිබේ. සිද්ධිය ගැන අවබෝධයක් දැන් සමාජයට ඇත. ඒ නිසා රන්වල නාටකය දැන් නිමා කළ යුතු බව රන්වල සේම ඔහුට උපදෙස් දෙමින් ඇති වෛද්‍ය කණ්ඩායම ද දැන් වටහාගත යුතුව තිබේ. අනෙක දැන් හාන තරමක් සීසා ඉවරය. රන්වලට ඇවිත් වැපිරිය හැකිය. ඉන් පසු අස්වැන්න නෙලා ගැනීම ආණ්ඩුවට බාරය.







