හම්බන්තොට වරායට පැමිණි නෞකාවේ න්‍යෂ්ඨික බලාගාරවල ඉන්ධනයක් ලෙස ගන්නා විකිරණශීලී ද්‍රව්‍යයක් වන යුරේනියම් හෙක්සාක්ලෝරයිඩ් ගබඩා කර තිබූ බවත් මෙම නැව ශ්‍රි ලංකා පරමාණුක ශක්ති නියාමන සභාවේ නියෝගය මත මේ වනවිට වරායෙන් ඉවත් කරගෙන ශ්‍රි ලංකාවට කිලෝ මීටර තුනකට ආසන්න ඈත මුහුදට ගෙන ගොස් ඇති බව ශ්‍රි ලංකා පරමාණුක ශක්ති නියාමන සභාවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය එච්.එල් අනිල් රංජිත් ලංකාසරට පැවසීය.
මෙම නෞකාව චීනය සහ යුරෝපය අතර ධාවනය වන එකක් වුවත් හදිසි යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් හම්බන්තොට වරායට ගෙන ඒමට කටයුතු කර ඇත. එසේ වුවද එහි විකිරණශීලී ද්‍රව්‍ය පවතින බැවින් ලබා ගත යුතු පූර්ව අනුමැතිය ලබා නොතබීම මත මෙසේ වහාම ඉවත් කර ගන්නා ලෙස තමන් නියෝග කළ බව අධ්යක්ෂ ජනරාල්වරයා පැවසීය. මෙසේ පූර්ව අවසරයකින් තොරව නැව මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් එම නැවේ ඒජන්ත සමාගම වන විල්හෙල්ම්සන් මෙරිඩජියන් (Wilhelmson Meridean) නම් ජර්මානු සමාගමට එරෙහිව නීති පියවර ගන්නා බවත් එම සමාගමේ දේශීය නියෝජිතයකුද සිටින බවත් ඔහු තවදුරටත් පැවසීය.
MV GCC Naples නම් මෙම නෞකාව ඇන්ටිගුවා බාබඩෝස් රාජ්‍ය ධජය යටතේ යාත්‍රා කළ එකක් වන අතර මෙම නැව වරායෙන් ඔබ්බේ මුහුදේ නංගුරම් ලා අදාළ අලුත්වැඩියා කටයුතු සිදු කිරීමට පියවර ගෙන ඇත.
තවදුරටත් අදහස් දැක්වූ පරමාණුක ශක්ති නියාමන අධ්යක්ෂ ජනරාල්වරයා පැවසූයේ තමන් කරුණු සියල්ල සොයා බැලීමෙන් පසුව පෙරවරු 10.00ට පමණ මෙම නැව වරායෙන ඉවත් කර ගන්නා ලෙස කළ දැනුම් දීමට අනුව පෙරවරු 10.30ට පමණ වරායෙන් ඉවත් කර ගත් බවය.







