ඉඳුනිල් කහටපිටිය –
සිරි දළදා දැක්ම සාමාන්‍ය ජනතාවට විවෘත වූයේය.
ජනාධිපතිවරයාගේ සහ රාජ්‍ය තාන්ත්‍රික ප්රභූන්ගේ සහභාගීත්වය සහිතව සමාරම්භක උත්සවය පැවැත්වීමෙන් අනතුරුව දහවල් 2 සිට ජනතාව වෙනුවෙන් දළදා දැක්ම විවෘත විය. මේ වීඩියෝව එම අවස්ථාව ආවරණය කරයි.
දළදා සමිඳුන් වැඩ හිඳන්නේ සත් කරඬු මධ්‍යයේය. කරඬු හත මත මනුෂ්‍ය ස්ඵර්ෂයක් සිදු කරන්නේ නම් එය සිදුකළ යුත්තේ මල්වතු අස්ගිරි මහා නායක ස්වාමීන්වහන්සේලා දෙනම සහ දියවඩනේ තැම්පත් නිලංග දෑල යන තිදෙනාම ඉදිරියේය.
අද අපර භාගය උදාවත්ම දළදා වහන්සේ හත්වන කරඬුවෙන් පිටතට ගනු ලැබුවේ දහවල් තේවාවෙන් අනතුරුවය. අස්ගිරි මහානායක අති පූජ්‍ය වරකාගොඩ ඤාණරතනාභිධාන ස්වාමීන්වහන්සේ විසින් 7වන කරඬුවේ වැඩ හිඳින වාම ධාතූන්වහන්සේගේ කරඬුව විවෘත කරනු ලැබූහ.
අනතුරුව මල්වතු පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා නායක ස්වාමීන්ද්‍රයන්වහන්සේ විසින් දන්ත ධාතූන් වහන්සේ පිටතට වැඩමවා දියවඩන නිලමේවරයා අත ඇති වජ්රමය මංජුසාවෙහි තැන්පත් කළහ.
අනතුරුව එම මංජුසාව දියවඩන නිලමේවරයා විසින් සුවඳ මලින් සරසන ලද පිරිත් මණ්ඩපය වෙත රැගෙන ගොස් එහි තබා මූලික පූජාවන් කළේය.
මේ සියලු පූජාවන් සිදුකරනු ලැබුවේ හේවිසි හොරණෑ පූජා හඬ මධ්‍යයේය. ඉන් අනතුරුව දළදා වහන්සේ ප්‍රදර්ශනය විවෘත විය. මේ අවස්ථාවේ රටේ විධායක ජනාධිපතිවරයා ප්රමුඛ දෙස් විදෙස් තානාපති ප්රභූහු මුලින්ම දළදා වන්දනා කළහ.
මේ වනවිට ලක්ෂ සංඛ්‍යාත බැතිමත්හු ප්‍රධාන පෝලිම් තුනක් ඔස්සේ දළදා වන්දනාව සඳහා සැරසී සිටිති.
දළදා වන්දනාව සඳහා මාළිගාවට ප්‍රවේශ විය හැක්කේ මහ මළුව මධ්‍යයේ වූ මාර්ගයෙන් පමණි. එම මාර්ගයට ප්‍රවේශ වීමට මාළිගා පරිශ්‍රය අවට විවෘත මාර්ග 03ක් සකස් කර තිබේ.
1 කටුගස්තොට දෙසින් මහනුවරට පැමිණෙන ඩී.එස්. සේනානයක වීදිය ඔස්සේ මාලිගාව දෙසට පැමිණ වතුර මල අසලින් මහ මලුවට ප්‍රවේශ වීම. ( සාමාන්‍ය දිනයන්හිදී මාළිගාව වැඳ පුදා පිටව යන මාර්ගය )
2 වැව රවුමේ අම්පිටිය මංසන්ධියේ රතු බෝක්කුව අසලින් රැස්වන ජනතාව සංඝරාජ මාවත ඔස්සේ ( මහා මායා ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිටින් ) ගොස් බිසෝකොටුව උල්පැන්ගේ අසලින් ක්වීන්ස් හෝටලය ඉදිරිපිට සකසා ඇති ගුවන් පාලම අසලින් මහ මහළුවට ප්‍රවේශ වීම.
3 රතු බෝක්කුව අසල සිට (මහා බාලිකා විද්‍යාලයේ ද්විතියික පාලස ඉදිරිපිටින් ) වැව රවුමේ ජෝයි බෝට්ටු සේවය අසලින් පෙරකී ක්වීන්ස් හෝටලය ඉදිරිපිට ගුවන් පාලම අසලට ගොස් මහ මළුවට ප්‍රවේශ වීම
ඕනෑම පුද්ගලයෙකුට මෙම මාර්ග තුන ඔස්සේ පැමිණ මහ මළුවට ප්‍රවේශ විය හැකිය.
මහ මළුවට ප්රවේශවන සියලුම බැතිමතුන්ට අනිවාර්යයෙන් දළදා වන්දනා අවස්ථාව හිමි වනු ඇත. ඔවුන් තම ජංගම දුරකථනය ක්‍රියා විරහිත කර තබා ගැනීම අනිවාර්ය වේ. එසේ නොවන අවස්ථාවන්වලදී ඊට සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇති බව පොලිසිය කියයි. ජංගම දුරකථනයෙන් මොනම හේතුවකට හෝ මාළිගා පරිශ්‍රයෙන් පිටතට පැමිණෙන තුරු කිසිම ක්‍රියාකාරකමක් කළ නොහැකිය.
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා වෙනම ප්‍රවේශ මාර්ගයක් තනා ඇත. ඔවුන් සඳහා රෝද පුටු සියයක් දියවඩන නිලමේවරයා විසින් සූදානම් කර තිබේ. සංඝයා වහන්සේ සඳහා ද විශේෂිත ප්‍රවේශ මාර්ගයක් සකස් කර ඇත. මෙම දෙපිරිස ස්ථාන දෙකක දී දැඩි පරීක්ෂාවකට ලක් කෙරෙමින් මාළිගය වෙත ප්‍රවේශ කරගනු ඇත.
සිදුකර ඇති සැලසුම් අනුව තත්පරයකට 8-10 අතර පිරිසකට දළදා සමිඳුන් දැක බලා ගැනීමට අවස්ථාව සලසා දීමට කටයුතු යොදා ඇත.
ඒ අනුව දින 10 තුළ ලක්ෂ 15කට ආසන්න පිරිසකට දළදා සමිඳුන් දැක වන්දනා කිරීමේ අවස්ථාව උදාවනු ඇතැයි අනුමාන කෙරේ.







