දෛනිකව බෙදාහරින ගෑස් සිලින්ඩරවලින් 60%ක ප්‍රමාණයක් අධික ජන ඝනත්වයක් පවතින කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවලට බෙදා හැරීමට කටයුතු කරන ලෙස ලිට්රෝ සමාගමේ කළමනාකාරීත්වයට පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සභාපති (මහාචාර්ය) චරිත හේරත් මහතා අද (20) නිර්දේශ කළේය.
අධික ජන ඝනත්වයක් පවතින කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ජීවත්වන ජනතාවට විකල්ප බලශක්ති ප්රභවයන්ගේ සීමා සහිත බව ඇතුළු කරුණු කාරණා සළකා බලා ඉදිරි සතියක පමණ කාල සීමාව තුළ මෙලෙස බෙදා හැරීම සිදු කරන ලෙස කමිටුව උපදෙස් ලබා දුන්නේය.
මේවන විට ගෑස් සිලින්ඩර ලක්ෂ 35ක හිගයක් රටේ පවතින බවත් දැනට පැමිණ ඇති නැව් දෙකෙන් දිනකට ගෑස් සිලින්ඩර 80,000 බැගින් දිවයින පුරා සිටින ප්‍රධාන නියෝජිතයන් 42 ක් සහ අනෙකුත් උප නියෝජිතයන් හරහා බෙදා හැරීමේ කටයුතු සිදුකරන බවත් මෙහිදී ලිට්රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතා පැවසීය.
පැවති අයහපත් කාළගුණය නිසා මුතුරාජවෙලදී බෝයාව සම්බන්ධ කිරීමට අපහසු බැවින් කොළඹ වරායට නෞකාව රැගෙවිත් ගෑස් ගොඩබෑමට සිදුවූ බවත් එම හේතුවෙන් යම් ප්‍රමාදයක් සිදුවූ බවත් සභාපතිවරයා පැවසීය. එහෙත් ඉදිරියේදී නැවත සාමාන්‍ය පරිදි ගෑස් ගොඩ බෑමට හැකිවනු ඇති බවත් ලිට්රෝ සභාපතිවරයා පැවසූ අතර හැකිතාක් කඩිනමින් ගෑස් බෙදා හැරීමේ අවශ්‍යතාව කෝප් සභාපතිවරයා අවධාරණය කළේය.
ලිට්රෝ ගෑස් බෙදා හැරීම කඩිනම් කිරීම ඇතුළු කාරණා පිළිබද විමර්ශනය කිරීමේ අවශ්‍යතාව ඊයේ පාර්ලිමේන්තුවේදී සාකච්ඡා වූ අතර ඒ අනුව අද දිනයේදී කෝප් කමිටුව හමුවට ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ කළමණාකාරීත්වය කැදවන ලදී.
ඉන්දියානු ණය පහසුකම යටතේ ගෑස් ගෙන්වීමට වෙන්කර ඇති ඇ.ඩො මිලියන 160 න් ලිට්රෝ සමාගමට ලැබෙන ඇ.ඩො.මිලියන 120 ක මුදල යොදා ගෑස් මිලදී ගැනීමේ කටයුතු සදහා අවශ්‍ය පියවර ගන්නා බවත් එම මූලික කටයුතු සම්පූර්ණ කිරීමෙන් පසු මාස තුනකට ගෑස් සැපයිය හැකි බවත් ලිට්රෝ සභාපතිවරයා මෙහිදී පැවසීය. මේ අනුව ඉදිරි සති දෙකක කාලය තුළ මෙම ඉන්දියානු ණය පහසුකම යටතේ ගෑස් ගෙන්වීම සදහා අවශ්‍ය කටයුතු ඉතා කඩිනමින් සිදුකර මෙම තදබදය අවම කිරීමට වහාම අවශ්‍ය පියවර ගන්නා ලෙස කෝප් සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය.
එසේම ලෝක බැංකුවෙන් ඇ.ඩො.මිලියන 80 ක ණය පහසුකමක් ලැබීමට නියමිත බවත් ඒ අනුව නව කාලීන ප්‍රසම්පාදනයකට ( Term Tender) යාමට අපේක්ෂා කරන බවත් ලිට්රෝ සභාපතිවරයා පැවසීය.