ශ්‍රියානි විජේසිංහ –
බස්නාහිර පළාත් සභා රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන් ස්ථාන මාරුකිරීම හේතුවෙන් එළඹෙන ජනවාරි මාසයේ සිට එම රෝහල්වල රාත්‍රී ඇමතුම් රාජකාරි කිරීමට නොහැකි වී ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.
බස්නාහිට පළාත් සභාවට අයත් රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය ආයතන 9ක සීටී.ස්කෑන් පරික්ෂණ, සාමාන්‍ය එක්ස් කිරණ පරික්ෂණ, ශල්‍යාගාර විකිරණ පරික්ෂණ සේවා ඇතුළු රෝග විනිශ්චය පැය 24 පුරාම සිදුකළ නමුත් මෙම ස්ථානමාරු කිරිම් හේතුවෙන් ඇමතුම් සේවාවන් ලබා දිමට නොහැකි වනු ඇති බව සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පවසා සිටියි.
අනුමත නිලධාරින් ප්‍රමාණයෙන් සියයට 60ක පුරප්පාඩු ප්‍රමාණයක් පැවතියදී තාක්ෂණවේදී පැය 24 පුරාම සේවාව ලබා දීම සිදුකරමින් සිටින බවද හෙතෙම පැවසුවේය.
විකිරණවේදී තාක්ෂණ නිලධාරීන් පැය 24 පුරාම සේවා මුරයේ යෙදීම සඳහා අදාල රෝහල අවට ස්ථානගතවී ඇති බැවින් මෙම හදිසි ස්ථානමාරු කිරීම හේතුවෙන් මාරුව ලබා යන රෝහල්වල රාත්‍රී ඇමතුම් සේවාවන් කිරීමට නොහැකි වන බවද ඔහු පෙන්වාදේ.
මේ හේතුවෙන් අදාල රෝහල්වල සීටී පරික්ෂණ, එක්ස් කිරණ පරික්ෂණ, ශල්‍යාගාර විකිරණ පරික්ෂණ, ආදී සේවාවන් අඩාල වනු ඇති බවද සංගමය පෙන්වා දෙන අතර එහි වගකීම බස්නාහිට පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය ඇතුලු බලධාරීන් බාරගත යුතු බව දන්වා සිටියි.







