ඉඳුනිල් කහටපිටිය –
රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු වර්ජනයක නිරතවන බව රජරට විශ්ව විද්‍යාලීය ආචාර්ය සංගමයේ (RUTA) සභාපති මහාචාර්ය නාලක ගීගනගේ පවසන්නේය. ඔහුට අනුව වර්ජනයට අද ( 13) ට දින 15කි. ඔවුන් පවසන පරිදි වර්ජනය ස්ථිර උප කුලපතිවරයෙක් ලබා ගැනීම සඳහාය. දැනට මේ රජය විසින් පත් කර ඇති වැඩ බලන උපකුලපතිවරයා ඔවුන්ට අනුව මෙලෝ රහක් නැත.
ඒ අර්ථයෙන් ඔවුන් මේ රටට කියන කතාවේ යථාර්ථය කුමක් ද?. මේ ඒ සම්බන්ධව කරන විමසා බැලීමකි.
මේ ප්‍රශ්නය ඇතිවන්නේ රජරට විශ්වවිද්‍යාලයේ උප කුලපති ධූරය පුරප්පාඩු වීමත් සමගය.
පුරප්පාඩු වූ රජරට විශ්වවිද්‍යාලයේ උප කුලපති ධූරය
රජරට විශ්වවිද්‍යාලයේ සිටිය උපකුලපතිනිය මහාචාර්ය G. A. S ගිනිගද්දරය. ඇයගේ ධූර කාලය නිමා වූ පසු නව උපකුලපතිවරයෙක් පත්කරගැනීමේ ක්‍රියාවලිය ආරම්භ වන්නේ 2024/06/23 දින වනදාය.
එවකට පැවති රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාල පාලකසභාව විසින් මහාචාර්ය G. A. S ගිනිගද්දර (දෙවන ධුර කාලය සඳහා), මහාචාර්ය P.S. K රාජපක්ෂ මහාචාර්ය, ඩබ්ලිව් පර්සි විජේවර්ධන තෝරාගෙන ඉදිරි කටයුතු සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත යවනු ලැබුවේය.
එම නම් තුන සඳහා රනිල් වික්‍රමසිංහ රජය යටතේ පැවති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලැබිණි. අනතුරුව නම් තුනෙන් එක් නමක් උපකුලපති ධූරය සඳහා තේරීමට නම් තුන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට යැවිනි. ඒ අතර කාලය තුළ නව ජනාධිපති ලෙස අනුරකුමාර දිසානායක පත් විය.
නව රජය පත්වීමත් සමග රජරට විශ්වවිද්‍යාලයේ පැවති පාලක සභාව ඉවත් කර නව පාලක සභාවක් පත් කළේය. වැඩ බලන උපකුලපති ලෙස වෛද්‍ය පීඨයේ පීඨධිපති ආචාර්ය P.H G .J පුෂ්පකුමාර 2024.12.13 දින පත් කරනු ලැබුවේය.
ඉන් පසුව සිදුවන්නේ අනුමිතීන් ගණනාවක් යටතේ නිර්ණය කර පැරණි පාලක සභාව විසින් තොරාගත් වෘත්තිකයින් තිදෙනාගේ නම් ප්‍රතික්ෂේප විය. යළිත් වරක් පුවත්පත් නිවේදනයක් මගින් නම් කැඳවා සම්මුඛ පරීක්ෂණයක් පවත්වන්නට නව රජය තීරණය කළේය. ඒ සඳහා පෙත්සමක් ද බලපෑවේය. මේ පෙත්සමේ ප්‍රධාන පෙත්සම් කරුවා කළමනාකාර අධ්‍යන පීඨයේ පීධාධිපති ලෙස කටයුතු කරන මහාචාර්ය P.M.B ජයතිලකය. කෘෂිකර්ම පිඨයේ මහාචාර්ය A .M. J B අධිකාරී සහ තවත් කිහිපදෙනෙකු මේ පෙත්සමට අත්සන් කර තිබුණහ.
විශේෂත්වය වන්නේ මහාචාර්ය ජයතිලක 2025. 06.25 දින පලවූ පුවත්පත් නිවේදනයට අනුව රජරට විශ්වවිද්‍යාලයේ උප කුලපති ධූරයට අයදුම් කළ නමුත් නිර්දේශ නොවූ තැනැත්තෙක් වීමය. මහාචාර්ය අධිකාරී පළමුවර උපකුලපති ධූරය තේරීමේ අවස්ථාවට අයදුම් කර හැලී ගිය අයෙක් වීමය.
යළි අයදුම්පත් කැඳවීම
කෙසේ වෙතත් අවසානයේ දි 2025.06.25 දින පලවු පුවත්පත් නිවේදනයක් මගින් අලුතින් අයදුම්පත් කැඳවීමෙන් පසු නව පාලක සභාව යටතේ උප කුලපති ධූරය සඳහා මහාචාර්ය A. M. J.B අධිකාරී, මහාචාර්ය P. M. B ජයතිලක සහ මහාචාර්ය W.M ශ්‍රියානි තෝරා ගෙන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත යවනු ලැබීය.
ඒ වනවිටත් මහාචාර්ය W.M ශ්‍රියානි පුනානි පිහිටි International campus of Science &Technology (ICST) විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස පත්වීම ලබා රාජකාරි කරමින් සිටියාය.
මේ අතර කෘෂිකර්ම පිඨයේ මහාචාර්ය A .M. J.B අධිකාරී වෙත රජරට විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ ගොවිපලෙහි සිදුවී ඇති රුපියල් මිලියන 1.3ක මුල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේය. කළමනාකර අධ්‍යන පීඨයේ පීඨා ධිපති ලෙස කටයුතු කරන මහාචාර්ය P.M.B ජයතිලක පිලිබඳව ද අක්‍රමිකතා සම්බන්ධව චෝදනා ඉදිරිපත් විය.
මෙවැනි පසුබිමක් යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් යළි දීර්ඝ කරුණු පරික්ෂා කිරීමක් සිදුකළේය. ඉන් පසුව 2025.06.25 දින පල කළපුවත්පත් නිවේදනයට අනුව තෝරා ගත් ආචාර්යවරුන් ඇගැයීමට ලක් කළ ක්‍රමවේදය සහ වෙනත් නිර්නායක සලකා බැලීම ගැටලු සහගත බවට එම කොමිසම නිගමනයකට පැමිණියේය.
ඒ අනුව උපකුලපති ධූරය සඳහා සුදුස්සෙක් තෝරා ගැනීමට නැවත දැන්වීමක් පළකරන ලෙස 2025/10/24 දිනැති ලිපිය මගින් රජරට විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය වෙත විශ්වවිද්‍යාල ප්‍රතිපාදාන කොමිසම විසින් දැනුම් දුන්නේය.
මේ වනවිට රජරට විශ්වවිද්‍යාලය තුළ සිදුවෙමින් ඇත්තේ කුමක් ද?
නව රජය යටතේ පත් වූ නව විශ්වවිද්‍යාල පාලක සභාව විසින් නම් කළ ආචාර්යවරුන් තිදෙනාගෙන් දෙදෙනෙක් මුල් අවස්ථාවේ උපකුලපති ධූරයට සදහා ඉල්ලුම් කර ඊට නුසුදුස්සන් වූවන්ය. ඔවුන් දෙදෙනා වෙත අක්‍රමිකතා චෝදනා එල්ලවීමත් සමග විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මෙම නිර්දේශිත නාම තුනම ප්‍රතික්ෂේප කරන්නේ ඇගැයීම් ක්‍රියාවලියේ ඇති ගැටලුසහගත ස්වරූපය නිසාය.
එහෙත් මේ වනවිට රජරට විශ්ව විද්‍යාලීය ආචාර්ය සංගමයේ (RUTA) සභාපති මහාචාර්ය නාලක ගීගනගේ ඇතුළු ඔහුගේ අනුචරයින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අත්තනෝමතිකව බල කර සිටින්නේ මේ ප්‍රතික්ෂේපිත නම් තුනෙන් එකක් උපකුලපති ධූරයට පත් කරන ලෙසය.
මෙය මොන වඳුරු කුණුහරපයක්දැයි මේ ගැටලුව දෙස මැදිහත්ව බලා සිටින කිසිවෙකුට වැටහෙන්නේ නැත. රජරට විශ්වවිද්‍යාලයේ මධ්‍යස්ථ මත ධාරී ආචාර්යවරුන් පෙන්වා දෙන්නේ මේ RUTA සභාපතිවරයා කරන්නේ අන්ත පජාත කටයුත්තක් බවය.
රජරට විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් පෙන්වා දෙන පරිදි මේ වනවිට RUTA සභාපති මහාචාර්ය නාලක ගීගනගේ ගේ මෙහෙයවීම මත උපකුලපති ධූර අපේක්ෂිත මහාචාර්ය ජයතිලක කළමනාකරණ පීඨයේ ආචාර්යවරුන්ට බලපෑම් කරමින් මෙම ආචාර්යවරුන්ගේ වර්ජනය පවත්වා ගැනීමට කටයුතු කරන්නේය.
අනෙක් උපකුලපති ධූර අපේක්ෂකයා වූ කෘෂිකර්ම පිඨයේ මහාචාර්ය A .M. J B අධිකාරී වෙනුවෙනි කෘෂිකර්ම පීඨයේ නව පීඨාධිපති ජනක ගුණරත්නත් සිය පීඨය තුළ අධ්‍යයන කටයුතු අඩපණ කර ඇති බවට චෝදනා එන්නේය. මේ කණ්ඩායම අනියම් ලෙස තර්ජනය කරමින් හා ආචාර්යවරුන් බියගන්වමින් ඔවුන් රාජකාරි වලින් බැහැර කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වන්නේය.
රජරට විශ්වවිද්‍යාල ආරංචි මාර්ගවලට අනුව මේ වනවිට රජරට විශ්වවිද්‍යාලයේ ඉතිරි පීඨ 4හි අධ්‍යයන හා විභාග කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදුවෙමින් ඇත. මුදල් ගෙවන පාඨමාල කටයුතු ඉදිරි සතිය තුළ ආරම්භ කිරීමට ද කටයුතු සැලසුම් කර ඇතැයි කියැවේ. ඒ අතර RUTA සභාපති මහාචාර්ය නාලක ගීගනගේ වර්ජනයේ දින ගණන් කියමින් මාධ්‍ය වාර්තා පළ කර බලපෑම් කරන්නේ ප්‍රතික්ෂේපිත නම් තුනෙන් එක් නමක් උපකුලපති ධූරයට නිර්දේශ කරන ලෙසය.
වැඩ බලන උපකුල පතිවරයා
වසර 25 වරක් විශ්වවිද්‍යාලයකට ලැබෙන ස්වරණමය ක්‍රීඩා සැණකෙළියක් වූ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙල – SLUG 2025 විචිත්‍ර ලෙස පැවැත්වීමට වත්මන් උපකුලපතිවරයා සමත් වූයේය. මේ සැනකෙළිය පවත්වන කාලය පුරාම RUTA සභාපතිවරයා මේ උළෙල කරගැනීමට නොහැකිවන බවත්, උපකුලපතිවරයෙක් නැති නිසා ක්‍රීඩා උළෙල අන්තයටම ඇනෙන බවත් මාධ්‍යයට කීවේය. මෙම ක්‍රීඩා උළෙල පැවැත්වූයේ 15 වැනි වරටය. ක්‍රීඩා උළෙල තුළ කිසිදු අඩුපාඩුවක් වූයේ නැත. එය රජරට විශ්වවිද්‍යාල ඉතිහාසය තුළ ස්වර්ණමය සලකුණක් තැබුවේය.
විශ්වවිද්‍යාලය උපාධි ප්‍රධානෝත්සවය කඩිනමින් පැවැත්වීමට වැඩ බලන උපකුලපතිවරයා කටයතු කළ බවත් , සියලුම කණ්ඩායම් වල අතපසුවූ විභාග පැවැත්වීම, ප්‍රතිඵල කඩිනමින් නිකුත්කිරීම, හිඟ ශිෂ්‍ය මහපොළ සහ අනිකුත් දීමනා කඩිනමින් ගෙවීම සහ ප්‍රමාදයන් වැලැක්වීමට ඔහු මැදිහත් වී ඇති බව වාර්තා වන්නේය.
ආචාර්ය, මහාචාර්ය උසස්වීම්වලට අදාල සම්මුඛ පරීක්ෂණ කඩිනම් කිරීමට හෙතෙම කටයුුතු කර ඇතැයි ද ශිෂ්‍ය සුභසාධනයට අදාලව සියලුම පාර්ශව සමග සාකච්ඡා කර විසඳුම් ඉදිරිපත් කිරීමට ඔහුට හැකි වී ඇතැයි ද, ශිෂ්‍ය නේවාසිකාගාර ගැටලුව සඳහා අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යා ප්‍රතිපාදන කොමිසම සමග ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කරමින් ඇතැයි ද කියැවෙන්නේය.
පර්යේෂණ සහ නවෝත්පාදන වැඩිකිරීමටත් විශ්වවිද්‍යාලය පාඨමලාවල ගුණත්වය මෙන්ම නවසමාජයට උචිත පාඨමාලා හඳුන්වාදීමට සැලසුම් ඔහු විසින් සකස් කර ඇති බව මෙන්ම ඔහු වැඩ බලන උපකුලපති ධූරයට සාධාරණයක් ඉටු කරන බව මධ්‍යස්ථ ආචාර්යවරුන් පවසන්නේය.
ඔවුන් කියන්නේ නව ස්ථිර උපකුලපතිවරයෙක් පත්කරගැනීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ රජය නිවැරදිව කටයුතු කරන අවස්ථාවක RUTA සභාපතිවරයා ඇතුළු කුණ්ඩවාල කණ්ඩායම ස්වකීය ජඩ අවශ්‍යතා සාධනය කරගැනීමට සරසවියක ගෞරවය, ශාස්ත්‍රීය පැවැත්ම මෙන්ම සිසු ජීවිත ද මුග්ධ ලෙස බිල්ලට තබා ඇති බවය.
පෙනෙන පරිදි නිර්මාණය වී ඇත්තේ සාධාරණ ප්‍රවේශයකින් මැදිහත් විය යුතු ප්‍රශ්නයකි. රජයේ තීන්දුවට රජයේම පිටුබලය ලබන පිරිස් විසින් කුළුගන්වන කණ්ඩායමක් එරෙහි වී ඇත්තේය. පුද්ගලික අභිමතයන් ඉටුකරගැනීමට විශ්වවිද්‍යාල බිල්ලට දුන් බවට වූ සාහසික අපරාධ චෝදනාවක් මේ රජය ඇඟේ දමා ගත යුතු නැත. අපේ යෝජනාව රජය කල්පනා කළ යුත්තේ ඒ ගැන බවය.







