හිටපු බස්නායක නිලමේ මිගාර ජයසුන්දර විශ්‍රාම ගිය බස්නායක නිලමේ තනතුරට පුද්ගලයෙක් තෝරා ගැනීම සඳහා වූ ඡන්දය පවත්වන තෙක් එස්.වි චන්ද්‍රසිංහ වැඩ බලන බස්නායක නිලමේවරයා ලෙස පත් කරනු ලැබුවේ පනත ප්‍රකාරව නිශ්චිත නීත්‍යානුකූළ ක්‍රමවේදයකට අනුගත වෙමින් බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් ආර්.එම්.පී රත්නායක අද (06) අවධාරණය කළේය.
ඒ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වූ ප්රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි. කොමසාරිස්වරයා මේ සම්බන්ධව දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය. ඒ මෙසේය.
“සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුර මීට අවුරුදු එක හමරාකට ඉස්සරවෙලා අවසන් වුනේ. අපි අවුරුදු පහක කාලයකට පත් කරගන්නේ.”
“එතකොට පනතේ ප්‍රතිපාදන අනුව ජනාධිපතිතුමාට පත්වීම දීර්ඝ කරන්න පුලුවන් වෙන්නේ දෙවතාවක් විතරයි. ඒ උපරිම කාලය අවුරුදු දෙකයි.”
“මේ ඉන්න නිලමේ තුමා මිගාර ජයසුන්දර මහත්මයා මේ සැරේ දෙවැනි වතාවට කාලය අවසන් වනවිටත් මට තව මාස හයක් තියනවනේ කියලා ඉල්ලීමක් කළා.”
“නමුත් පනත ප්‍රකාරව මට ඒක ජනාධිපති තුමාට යොමු කරන්න බෑ. මොකද දෙපාරයි පුලුවන් ජනාධිපති තුමාට දික් කරන්න. ඒ නිසා මම කිව්වා මේ සැරේ ඡන්දය තියන්න අවශ්‍ය වෙනවා කියලා.”
“ඒ අනුව අපි ඡන්දය තියන්න කටයුතු කළා. එහිදී එතුමා ඉල්ලීමක් කළා වැඩ බලන බස්නායක නිලමේ තනතුර එතුමාට දෙන්න කියලා. ඒ ඉන්නකොට තව අපිට පිටිනුත් ඉල්ලිමක් විදිහට තවත් එක්කෙනෙක් ඉල්ලිමක් කළා.”
“ඒ ඉල්ලපු පුද්ගලයා ගැන සොයලා බලපුවාම එහෙම ගැටලුවක් නෑ එතුමගේ. බෞද්ධ ආගමිකයෙක් විදිහට පනත ප්‍රකාරව එතුමා පත් කරන්න පුලුවන්. නමුත් අවුරුදු 70 සම්පූර්ණ වෙලා තිබුණ නිසා නැවත වරක් එයාට ඉල්ලන්නත් බැරි නිසා මම තීරණය කළා එතුමා පත් කරන එක වඩාත් හොඳයි කියන එක. ඒ අනුව තමයි මම එතුමාව නොමිනේට් කරලා පත් කරන්න තීරණය කළේ.”
“ඒ අනුව මම එතුමාගේ ඉල්ලීම අනුව 01 වැනිදා වැඩ බලන තාවකාලික බස්නායක නිලමේවරයා විදිහට එතුමා පත් කළා.”
“ඒ පත් කරලා මම මෙහෙම තීරණය කළා. මේ පත් කරන්නෙ ඡන්දය තියනකම් නේ. අලුතින් කෙනෙක් ස්ථිරව පත් කරගන්න. ඒ නිසා මම තීරණය කළා මේක පුලුවන් ඉක්මනට කරන්න ඕන කියලා. ඒ නිසා අපි පලවෙනිදා මේ පත්වීම දුන්නා. 03 වැනිදා වනවිට පත්තරේ දැන්වීමක් දාලා මාසයක් යන්න ඕන. ඒ අනුව පෙබරවාරි 11 වැනිදා අපි තෝරා ගැනීමේ රැස්වීම සමන් දේවාලයේදි පවත්වන්න තීන්දු කරලා තියනවා.”
බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා පවසන්නේ හිටපු බස්නායක නිලමේ මිගාර ජයසුන්දරගේ විශ්‍රාම යෑමෙන් අනතුරුව නව බස්නායක නිලමේවරයෙක් පත් කරගන්නා තෙක් සිදුකළ තාවකාලික පත්කිරීමට දේවාලයේ කපු මහත්වරුන් ඇතුළු රාජකාරි මණ්ඩලය විරෝධතා එල්ල කර ඇති බවය.
අද දිනය පුරා සබරගමු මහ සමන් දේවාලය බැතිමතුන්ට වසා දමා තිබිණි. සිරිපා වාරය ආරම්භ වූ මේ වකවානුවේ සිරිපා කරුණා කරන බැතිමතුන් සබරගමු මහ සමන් දේවාලයට පිවිස ආශීර්වාද ලබා ගැනීමේ සම්ප්රදායක් ද පවතින අවසථාවක මේ තත්ත්වය උද්ගත වී තිබිණි.
බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා මොනවා කීවත් කපු මහත්වරු ඇතුළු රාජකාරි මණ්ඩලය රජයට චෝදනා කලේ වසර දහස් ගණනක් පැවති චාරිත්‍ර සම්ප්රදාය බිඳ දමා දේශපාලන මැදිහත්වීම් මත මැණික් මුදලාලි කෙනෙක් බස්නායක නිලමේ ධූරයට පත් කිරීම සිදු නොකළ යුතු අපරාධයක් බවය.
ඉතිහාසයේ මෙතෙක් මෙවැනි අකටයුත්තක් සිදුනොවන බවත් බස්නායක නිලමේවරයෙක් පත් කිරීම සඳහා සියවස් ගණනක් තිස්සේ පවතින චාරිත්‍ර සම්ප්රදායක් ඇති බවත්ය.
ඊයේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ දේවාලයේ දශක පහකට අධික කාලයක් රාජකාරි කටයුතු කරන බී.වී.ධර්මවර්ධන කපු මහතා පැහැදිලි කර දුන්නේ ඉතිහාසයේ කිසිම කළක නොඇසූ විරූ ලෙස මේ පත් කර ඇත්තේ කාලෝචිත නොවන, ස්ථානයට සුදුසු නොවන, චාරිත්‍ර සම්ප්‍රදායට සුදුසු නොවන පුද්ගලයෙක් බවය. ප්‍රධාන කපු මහත්වරු පස් දෙනා සහ මොහොට්ටාලනිලමේ වරු මේ සම්බන්ධව ගත යුතු තීරණය කුමක් දැයි දීර්ඝ වශයෙන් සාකච්ඡා කර මෙම පත්වීමේ නුසුදුසු ස්වරූපය බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ඇතුළු සියලුම වගකිවයුත්තන්ට ලිඛිතව දන්වා පාරට බැස්සේ මෙවැනි පුද්ගලයෙක් සමග බස්නායක නිලමේ ධූරය වැනි ගෞරවණීය රාජකාරියක් සිදුකිරීමට ඇති බැරිකම නිසා බවය.
“මේවා කෙරෙන්නේ ඡන්දයෙන්. අවුරුදු දහස් ගණනක රජ්ජුරුවන්ගේ ඉඳලා පැවත එන සිරිත් විරිත් තියනවා. කුළ 18ක උදවිය එදා ඉඳලා මේ දක්වා මේ දේවාලයේ රාජකාරි කරනවා. බස්නායක නිලමේ ට බුලත් අතක් දීලා වඳිනවා. පෙනුම් වලින් ගරු සත්කාර කරනවා. ඒ තමයි රාජකාරි සම්ප්රදාය. මේ සිරිත් අදත් පවතිනවා. අපි කාටද මේ දණ ගහලා වඳින්නේ බුලත් දෙන්නේ කියලා අපට ප්‍රශ්නයක් තියනවා. මොකද අපි වඳින්නේ සුදුසු පුද්ගලයෙකුට නොවන නිසා. ”
කපු මහත්වරු පැවසුවේ ඔවුන්ගේ කිසිම දැනුම්වත් භාවයකින් තොරව ඉහළ පෙළේ පුද්ගලයෙක් විසින් දිස්ත්‍රික් කමිටුවේ දී ආණ්ඩුකාරවරිය සහ සකච්ඡා කර මෙම පුද්ගලයා පත් කර එවා ඇති බවය. දේවාලය වසා පූජා නවත්වා පාරට බසින්න සිදුවන්නේ මේ වැනි තත්ත්වයක් තුළ බවත් මේ අවස්ථාව තේරුම්ගෙන ඉතාම හොඳ තීරණයක් ගැනීම සම්බන්ධව සියලු දෙනාම බලාපොරොත්තුවන බවත් සබරගමු මහ සමන් දේවාලයේ පැරණිම කපු මහතාවන බී.වී.ධර්මවර්ධන වැඩිදුරටත් පැවසුවේය. ඔහු කීවේ මෙම පත්කිරීමට දේවාලය හා සම්බන්ධ දහස් ගණනක් සම්ප්‍රදායික රාජකාරි පවුල්වල ජනතාව මුලුමනින්ම අකමැති බවය.
“මැණික් මුදලාලිලා සම්බන්ධ කරන්න එපා. ඓතිහාසික චාරිත්‍ර සම්ප්‍රදායට අනුව සුදුසු පුද්ගලයෙක් මේකට එවන්න. අපට කියන්න තියෙන්නේ. මුදලාලිලා එවන්න එපා. මුදල් බලය ධන බලය පෞඪ ඉතිහාසය විනාශ කරන්න එපා. දේශපාල මැදිහත් වීමකින් තොවර අතගැසීමකින් තොරව නිලමේ කෙනෙක් පත් කරන්න. අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ එච්චරයි. “. සමන් දේවාලයේ රාජකාරි මණ්ඩලය ඊයේ ආණ්ඩුවට දැනුම් දී තිබිණි.







