ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතාගේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු වැඩ බලන මහ ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාලගේ සහාය, මෙවර ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදෙන බවට සහතික විය.
ඔවුන් කොළඹ මල් පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේ අද (23) පෙරවරුවේ ජනාධිපතිවරයා හමුවී මේ පිළිබඳ නිල වශයෙන් දැනුම් දුන්නේය.
අනතුරුව විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔවුන් පෙන්වා දුන්නේ ආර්ථික අර්බුදයට ප්‍රායෝගික විසඳුම් ලබාදිය හැකි නායකයෙකුගේ අවශ්‍යතාවය හෙට දවසේද රට හමුවේ ඇති බවයි. අත්හදා බැලීම් සිදු කිරීමට කිසිසේත් අවස්ථාවක් නොමැති බව ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් රටේ සහ ජනතාවගේ අනාගතය වෙනුවෙන් මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැප වන බව ප්‍රකාශ කළහ.
එසේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ පිරිසිදු දේශපාලන ගමනකට තමන්ට අවස්ථාව උදා වී ඇති බව ද මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උප සභාපති අංගජන් රාමනාදන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරමින් 2013 වසරේදී උතුරු පළාත් සභා මන්ත්‍රීවරයෙක් ලෙසත්, තේරී පත්වූ අතර 2015 වසරේදී ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූවේය.
2020 වසරේදී පැවති මහ මැතිවරණයෙන් යාපනය දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කළ ඔහු පාර්ලිමේන්තුවට දෙවන වරටත් තේරී පත්වූවේය. ඔහු මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙක් ලෙස කටයුතු කරමින් සිටී. පාර්ලිම්න්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා ලෙසද කටයුතු කරන්නේ අංගජන් රාමනාදන්ය .
සාරතී දුෂ්මන්ත මිත්‍රපාල 2015 වසරේදී පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කරමින් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූවේය. පසුගිය කාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහලේකම්වරයා ලෙස කටයුතු කළ ඔහු මේ වන විට පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙක් ලෙස කටයුතු කරමින් සිටී.







