බිඳ වැටී තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළි ගොඩ ගත හැක්කේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී ඔද්දල්වුන පුද්ගලයෙකුට නොව නව නායකත්වයකට බවත්, පක්ෂයට ජීවය දීම සඳහා නව නායකත්වයක් අවශ්‍යය නම් ඒ සඳහා තමන් සූදානම් බවත් දයාසිරි ජයසේකර පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ මහනුවර දී අද (20) මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. එහිදී දයාසිරි ජයසේකර මෙසේ ද පැවසුවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් පත්වෙලා ඉන්න සභාපති හා ලේකම්වරයා නීත්‍යානුකූලව පත්වූ අය නෙවෙයි. ඒ අයට අධිකරණය තුළින් කිසිදු නීත්‍යානුකූල බලයක් ලැබී නැහැ. තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණ කොමිසම විසින් පිළිගන්නේ නැහැ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට ගන්න තීන්දු සියල්ල නීති විරෝධීයි.
ඔවුන් දැන් පුටුව ලකුණ භාවිත කරලා ඒකෙන් යම් ක්‍රියාදාමයක් කරන්න හදනවා. ඒකත් නීති විරෝධීයි. එතනත් විශාල ප්‍රශ්න තිබෙනවා. පුටුව ලකුණින් පොදුජන එක්සත් පෙරමුණ හැදීමේ දී ඇති වූ අර්බුද ගණනාවක් තිබෙනවා. අපි ඒ සම්බන්ධයෙන් අනාගතයේ දී නීතිමය වශයෙන් පියවර ගන්නවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ලෙස අධිකරණයෙන් දෙවරක් බලය ලබා දී තිබෙන්නේ මටයි. එසේ තිබිය දී පිරිසක් අයුතු ලෙස බලය පාවිච්චි කරලා මට ඇතුළට එන්න දුන්නේ නැහැ.
නිමල් සිරිපාල ද සිල්වා හා දුමින්ද දිසානායක දෙන්නම වැරදි විදිහට පත් වූ අය බව කියමින් අපි කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ගොනුකර තිබෙනවා. පක්ෂයේ ලේකම් ලෙස නීත්‍යානුකූලව මට වැඩ බාර ගන්න ඉඩ දෙන්න කියන ඉල්ලීමත් අධිකරණයෙන් කළා. ඒ තීන්දුව ආවට පස්සේ ලංකාව පුරා ගිහින් නිවැරදි ශ්‍රී ලංකා පාක්ෂිකයින් එක්ක පක්ෂය ඉදිරියට ගන්න සාකච්ඡා කරන්න සූදානම්. තීන්දුව වෙනත් ආකාරයකට ආවොත් ඒකට මුහුණදීමටත් සූදානම්.
ලබන පෙබරවාරි මස 07 දින තීන්දුව ලබා දීමට නියමිතයි. ඒ තීන්දුව ආවට පස්සේ ඉදිරියට ගන්නා ක්‍රියාමාර්ග තීන්දු කරනවා







