-
මාරු මණ්ඩලයත් නොදැන අධ්‍යක්ෂවරියගේ හිතවතුන්ට හොර රහසේ ස්ථාන මාරු… අල්ලස් කොමිසමට යෑමට ඇති අවස්ථාව ගැන විමසමින් සිටින බව GMOA කියයි!
ශ්‍රියානි විජේසිංහ –
සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂවරියගේ අත්තනෝමතික් දරදඩු ක්‍රියා කලාපයන් හේතුවෙන් වෛද්‍යවරුන් දස දහසකගේ ස්ථානමාරු ඇනහිට ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.
මේ අනුව වෛද්‍යවරුන්ගෙන් සියයට 50ක පිරිසක් මේ වන විට රැදී සිටින්නේ තමන් රාජකාරි කළ යුතු රෝහලේ නොවන බව සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසා සිටියි.
රාජ්‍ය සේවා කොමිෂන් සභාව නොමග යවමින් මාරු මණ්ඩලයේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරින්ගේ අනුමැතියකින් තොරව වෛද්‍ය පුරප්පාඩු 78ක් එක් පෑන් පහරින් කපා දැමීමට මෙම අධ්‍යක්ෂවරිය කටයුතු කර ඇති බවත් ඇයගේ හිතවත්කම් මත මේ වන විට තාවකාලික ස්ථානමරු ලබා දීමට කටයුතු කර ඇති බවත් හෙතෙම පෙන්වාදේ.
මාරු මණ්ඩලයට හොර රහසේ මෙම ස්ථානමාරු ලබා දීමට කටයුතු කර ඇත්තේ කිසියම් වරප්රසාදයන් ලබා ගෙන යන්න සැක සහිත බැවින් මෙවැනි නීති විරෝධී කටයුතු අල්ලස් කොමිසමට වුවද යාමේ හැකියාව පවතින බව වෛද්‍ය චමිල් විජේසිංහ පෙන්වාදේ.
ශ්‍රේණි වෛද්‍යවරුන් 23000ට අධික පිරිසකගේ ස්ථාන මාරුවීම් ක්‍රියාවලිය අවුල් ජාලයක් බවට පත්කර ඇතැයිද පෙන්වා දෙන වෛද්‍ය සංගමය තව දුරටත් පවසා සිටිනුයේ මේ වන විට සිිමාවාසික පුහුණු නිමකළ වෛද්‍යවරු 1977ක් පාශ්චාත් සීමාවාසික පුුහුණුවට අනුයුක්ත කර නොමැති බැවින් රෝහල් පද්ධතියට වෛද්‍යවරුන්ගේ සේවාව ලබා ගැනීමට තියෙන අවස්ථාව අවහිර වෙමින් තිබෙන බවය.
ස්ථානමාරු ක්‍රියාවලිය තුළ වෛද්‍යවරුන්ට යම් අසාධාරණයක වී ඇත්නම් රාජ්‍ය සේවා කොමිෂන් සභාව හරහා ඔවුන්ට අභියාචනා ඉදිරිපත් කළ හැකි ක්‍රමවේදයක් තිබුණ නමුත් වසරක පමණ කාලයක සිට එය ඇනහිට තිබෙන බව පෙන්වා දෙන සංගමය එයට හේතුව වී ඇත්තේ රාජ්‍ය සේවා කොමිසම සෞඛ්‍ය අමාතයංශයෙන් ඉල්ලා තිබෙන අභියාචනා ක්‍රමවේදයේ සම්මත මෙහෙයුම් පටිපාටිය ලබා දීමට මේ අධ්‍යක්ෂවරිය අසමත් වීම යැයිද පවසා සිටියි..
මෙවැනි අකාර්යක්ෂම පරිපාලකයින් සෞඛ්‍ය අමාත්‍යංශය තුළ රඳවා ගැනීම දැනට ඇති වී තිබෙන පරිපාලන ගැටලුවලට ප්‍රධාන හේතුවක් වී ඇති බවද සංගමය අවධාරණය කරයි.







