විදුලි බිල වැඩි කර උපයාගත් රුපියල් බිලියන 145 ලාභයෙන් විදුලි බිලේ සහනය මෙන්ම ඉන්ධන ලීටරයකින් අය කරන අධික බදු මුදලේ සහනය ජනතාවට ලබා දීමට රජයට නොහැකි බවත් වේදිකාවල කතා කරන දේ යථාර්ථයක් නොවන බව ජනතාව වටහා ගත යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පික රණවක පවසයි.
ඔහු මේ බව පැවසුවේ අද (02) කොළඹ මහාධිකරන පරිශ්‍රයේ දී මාධ්‍ය අමතමිනි.
විදුලිබල මණ්ඩලය මේ වසරේ පළමු මාස අට තුළ රු. බි. 145 ක ලාභයක් උපයාගෙන ඇති ආකාරයත්, සෑම පාරිභෝගිකයෙකුගෙන් ම රු. 20,000 ක් අමතරව ලබා ගෙන ඇති ආකාරයත් ඔහු පෙන්වා දෙයි.
මීට සති දෙකකට පෙරත් ඔක්ටේන් 92 ඉන්ධන ලීටරයක් වරායට ගොඩබාන විට එහි මිල රුපියල් 195ක් බව කී ඔහු නව මිල ගණන් යටතේත් ඉන්ධන ලීටරයකට රුපියල් 117ක බද්දක් රජය අය කරන බව කීවේය.
“මැතිවරණ වේදිකාවේ දී අපිට ඇහුණා බදු ගහලා තියෙනවා. අසීමාන්තික විදිහට ලාභ උපයනවා. ඒ නිසා තෙල් මිල අඩු කරනවා. බදු අයින් කරනවා. ඒ වගේම විදුලි බිල 40% කින් අඩු කරනවා වගේ කතා. ඉතින් ඇත්තටම මීට සති දෙකකට කලින් පමණ ලංකාවට පෙට්‍රල් (92) ගෙන්නුවේ රු. 195 ට. ඩීසල් (සාමාන්‍ය) ගෙන්නුවේ රු. 200කට විතර. ඒ අනුව පෙනී යනවා දැන් අලුත් මිල ගණන් අනුව ගත්තත් පෙට්‍රල් ලීටරයකට රු.117 ක පමණ බදු මුදලක් ඩීසල් ලීටරයකට රු.83 ක පමණ විශාල බදු මුදලක් අය කරන බව.”
“වේදිකාවල මොනවා ප්‍රකාශ කළත් ඕක තමයි යථාර්ථය. ඉතින් විදුලි බිල තාම අඩු කිරීම සඳහා යෝජනාවක් වත් ඉදිරිපත් කරලා නෑ. විදුලිබල මණ්ඩලය, පළවෙනි මාස අටේදී මේ ඇති කරපු අසීමාන්තික, ව්‍යාජ, මහජන පරපීඩාකාමී විදුලි බිල නිසා අතිරේක ලාභ, විදුලිබල මණ්ඩලයේ සියලු දූෂණත් ඇතුළුව, අතිරේක ලාභ ඉපයූවා. බිලියන 145 ක්, පළවෙනි මාස අටේදී. ඒකේ තේරුම රු. 20,000 ක් සෑම විදුලි පාරිභෝගිකයෙක්ම වැඩිපුර අරන් තියෙනවා පළවෙනි මාස අටේදී. ඉතින් ඒක වහාම ලබාදිය යුතුයි. දැන් කතා කරලා වැඩක් නැහැ. ජනතාවට ඒ විදුලි බිලේ සහනය වහාම ලබා දිය යුතුයි.”
“පඩි වැඩි වීම කළා පසුගිය ජනාධිපතිවරයා. මේ රටේ වැඩකරන ජනතාව තැපැල් ඡන්දයෙන් පෙනී ගියා විශාල පිරිසක් අනුර කුමාර දිසානායක මැතිතුමාට ඡන්දය දීලා තියෙනවා කියලා. ඒ ජනතාවත් බලාපොරොත්තු වෙනව පඩි වැඩිවීම සිද්ධ වෙයි කියලා. ඒ පිළිබඳ කැබිනට් තීන්දුව ක්‍රියාත්මක කරනවයි කියලා ප්‍රකාශ කිරීමට එතුමාට දැන් හැකියි. මොකද නව කැබිනට් මණ්ඩලයක් පත් කරලා තියෙන නිසා.”







