කොළඹ පිටකොටුව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිට බස් නැවතුමකදී වෙඩ් ප්‍රහාරයකට ලක් වී ඇත්තේ ඔවුන් කලින් සේවය කළ කොළඹ 07 පිහිටි, සුපිරි අවන්හළක සේවය කරමින් සිටියදී ඇති කර ගත් ගැටුමක් හේතුවෙන් ගොනු වුණු නඩුවකට පෙනී සිටීමට පැමිණි හිටපු යුධ හමුදා සෙබළුන් තිදෙනකු බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. යුධ හමුදාවේ කමාන්ඩෝ සෙබළුන් තිදෙනකු වන ඔවුන් එයින් ඉවත් වූ පසුව කොළඹ 07 පිහිටි සුඛෝපභෝගී අවන්හළක සේවය කරමින් සිටියදී වැටුප් සම්බන්ධයෙන් උද්ගත වූ ගැටමක් හේතුවෙන් එම අවන්හළට පහර දී අලාභ හානි සිදු කිරීමේ චෝදනා මත අධිකරණයේ නඩුවක් ගොනුව තිබුණු බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.
මෙම තිදෙනා එම නඩුවට පෙනී සිට ආපසු සිය නිවෙස් කරා යාමට අදාළ බස් නැවතුමේ රැඳී සිටියදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු පැමිණ වෙඩි තබා පළා ගොස් ඇති බව සඳහන් වේ. මෙම සිදුවීමෙන් මිය ගියේ එප්පාවල මහඉලුප්පල්ලම පදිංචි ලක්ෂිත විරාජ් ලියනගේ නම් 30 හැවිරිදි තරුණයෙකි. නඩුවට විභාගයට ගත් අද දින අදාල අවන්හළ හිමියා ඊට පෙනී සිටින්නට පැමිණ නැති බවද සඳහන් වේ. ඔවුන් ද තමන්ට සිදවූ අසාධාරණය පිළිබඳව කම්කරු දෙපාර්තමෙන්තුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර එයද මේ වනවිට කම්කරු උසාවියේ විභාගයට ගැනෙන බව පොලිස් විමර්ශණවලදී අනාවරණය වී ඇත.







