ඉන්දියාවේ අයහපත් වායු දූෂණය හේතුවෙන් ශ්‍රී ලංකාවට එල්ලවූ බලපෑම සීඝ්‍ර අඩුවීමක් දක්නට ලැබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිවේදනය කරයි.
ඊයේ (08) දිනයට සාපේක්ෂව ඉතාම විශාල අඩුවීමක් එම ආයතනය විසින් තහවුරු කර තිබේ.
ඉන්දියාවේ ඉහළ ගිය වායු දූෂණය තත්ත්වය බෙංගාල බොක්කේ අඩුපීඩන තත්ත්වයත් සමග ශ්‍රී ලංකා අවකාශය වෙලාගෙන ඊයේ දිනය වනවිට අතිශය අයහපත් මට්ටමක පැවතිනි.
විශේෂඥවරු හඳුන්වා දුන්නේ එය හුස්ම ගැනීමට නුසුදුසු තත්ත්වයක් ලෙසය.
එම තත්ත්වය දින කිහිපයකින් පහව යනු ඇති බව පරිසර අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කීවේය.
වායු දූෂිත නොවූ තත්ත්වයන් සේ සැලකෙන්නේ වායු ගෝලයේ වායු ඝන මීටරයක් තුළ අහිතකර සියුම් වායු අංශු 50ක අඩු මට්ටමක පවතින විටය.
ඊයේ වායු තත්ත්ව දර්ශකයේ එය 220ක් ලෙස සටහන් වී අති දූෂිත තත්ත්වයක් පෙන්නුම් කළේය. එය මැජෙන්ටා අනතුරු අඟවීමක් ලෙස ප්‍රකාශ විය. එහෙත් කොළඹ වායුගෝලයේ තත්ත්වය 80 අගයට පැමිණ පැය 24ක් තුළ ඉතාම සාධනීය මට්ටමකට ලඟා වී ඇත. .
මැජෙන්ටා අනතුරු ඇඟවීමට ලක්ව 231 තිබුණු යාපනය 51 දක්වාත්, 229 තිබුණ කුරුණෑගල 71 දක්වාත්, 223 තිබුණු වව්නියාව 63 දක්වාත්, 203 පැවති නුවර 94 දක්වාත් අඩු වී තිබේ. ගාල්ල පුත්තලම බදුල්ලෙන් අවදානම පහව ගොස් ඇත. පුත්තලම තිබුනේ මැජෙන්ටා අනතුරු ඇඟවීමකය. බදුල්ල රතු අනතුරු ඇඟවීමකය.
තත්ත්වය ඉක්මනින්ම යහපත් වනු ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පුරෝකථනය කරයි.









