සුමිත් පොතුපිටිය –
විදුලි බිල නොගෙවීම නිසා සැපයුම විසන්ධි කිරිමට ගිය විදුලි සේවකයින් තිදෙනෙකු නිවෙස් හිමියෙකුගෙන් පහරකා රෝහල් ගතකර ඇති බව වාද්දුව පොලිසිය පවසයි .
පහරදීම සිදුකල වාද්දුව, හබරලගහලන්ද ප්‍රදේශයේ පදිංචි සැකකරු ප්‍රදේශය හැරගොස් සිටින බවද උසස් පොලිස් නිළධාරීයෙක් කීය.
වාද්දුව හබරලගහලන්ද ප්‍රදේශයේ නිවසක මාස කිහිපයක විදුලි බිල නොගෙවීම සම්බන්දයෙන් රතු නිවේදනයක්ද නිකුත් කර එයද නොසලකා හැරීම හේතුවෙන් විදුලිය විසන්ධි කිරීම සදහා අද පස්වරුවේ විදුලි පෞද්ගලික සමාගමේ සේවකයින් තිදෙනෙකු නිවසට ගොස් ඇති අතර, සැකකරු ඒ මොහොතේ නිවසේ සිට නැතැයිද පොලිසිය කීය.
විදුලි සැපයුම විසන්ධි කරන අතරතුර සැකකරු නිවසට පැමිණ ඇති බවත් එහිදී උරණවූ සැකකරු විදුලි සේවකයින් තිදෙනාට පහරදී නැවත විදුලි සැපයුම බලහත්කාරයෙන් ලබාගෙන ඔවුන්ව පිටත්කර හැර ඇති බවට පැමිණිල්ලේ
සඳහන් බව පොලිසිය කීය.
පහරකෑ විදුලි සේවකයින් තිදෙනා පොලිසියට පැමිණ පැමිණිලිකර පොලිසිය සමග ගොස් විදුලිය විසන්ධි කර ඇති බව පොලිසිය කීය.
පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ සිදුකරන නමුත් , සැකකරු ප්‍රදේශයෙන් පලගොස් ඇති බවත් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවත් උසස් පොලිස් නිළධාරීයෙක් කීය.
ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහකාර පොලිස් අධිකාරී ජේ.ඒ.එස්.කේ. ජයනෙත්තිගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද්‍ර කුමාරගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වයි.







