වෙඩි තබා ඝාතනය කළ වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරගේ දේහය මේ වනවිට මිදිගම පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබේ.
ඊයේ (22) ඔහුගේ දේහය නිවසට රැගෙන විත් තිබුණි.
ඔහුව ඔහුගේ නිල කාමරය තුළ ඝාතනය කර යතුරුපැදියකින් පලා යන අපරාධකරුවන් සොයා මේ වනවිට පොලිස් කණ්ඩායම් 04ක් විමර්ශන ආරම්භ කර ඇත.
ඝාතකයින් පලා යන දිශාව සහ ඔවුන් ගේ හැසිරිම සම්බන්ධව තොරතුරු ලබා ගැනිම සඳහා නගරයේ පුළුල් පරාසයක සියලුම සීසීටීවී දර්ශන පරීක්ෂාවට ලක් කෙනෙ බව විමර්ශන අංශ පවසයි.
මිදිගම ලසා යනුවෙන් ප්‍රසිද්ධ 38 හැවිරිදි වියේ පසුවන ලසන්ත වික්‍රමසේකර තිදරු පියෙකි. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගය නියෝජනය කරමින් මිදිගම කොට්ඨාසයෙන් ජයග්‍රහණය කර වැලිගම ප්‍රාදේශීය සභාවට තේරී පත් විය. ජූලි මස 29 දින සිය ධුරයෙහි වැඩ භාර ගනු ලබන ලසන්තට එම තනතුරට පත් වීම සඳහා විපක්ෂයේ පක්ෂවල ආධාරය ලැබිනි.
පළාත් පාලන ආයතනයක සභාපතිවරයෙක් සභාපති ධුරය දරමින් සිටියදී ඝාතනය වූ තෙවැනි අවස්ථාව වන්නේ ලසන්ත වික්‍රමසේකරගේ ඝාතනය වන අතර අදාල ඝාතන තුනම සිදුව ඇත්තේ දකුණු පළාතේය.
2003 වසරේදී හික්කඩුව නගර සභාවේ සභාපති ගාමිණි පින්නදූව ඝාතනය කරනු ලබන්නේ මේ ආකාරයටමය. යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරු නගර සභාවේ සිය කාර්යාලයේ රැඳී සිටි ගාමිණි පින්නදූවට වෙඩි තබා ඝාතනය කළේය.
අනතුරුව ඝාතනය වන්නේ රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස්ය. 2015 වසරේ මාර්තු 23 වෙනිදා මනෝජ් මෙන්ඩිස් ට වෙඩි තබා ඝාතනය කරන්නේ හික්කඩුවේ සංචාරක හෝටලයකදීය. හික්කඩුව නගර සභාවේ සභාපති ගාමිණී පින්නදූව ඝාතනයට එකල මනෝජ් මෙන්ඩිස්ගේ නම කියැවිණි.
මිනිස් ඝාතන කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට ඔහුටද චෝදනා එල්ල වී තිබුණි. අපරාධ ලෝකයට ඔහුව රැගෙන ගොස් තිබුණේ දකුණු පළාතින් පිට පළාතක හිටපු මහඇමැතිවරයෙකි. මනෝජ් මෙන්ඩිස් ඝාතනය කරනු ලබන්නේ දකුණේ ප්‍රබල පාතාල අපරාධකරුවෙකු වන පොඩි ලැසීය. එම ඝාතනයට මුල පොඩි ලැසීගේ පියාව ඝාතනය කිරීමට පළිගැනීමකි.
මේ වනවිට මිදිගම ලසා ඝාතනයේ සැකය මිදිගම රුවන් ඇතුළු පාතාලයට සම්බන්ධ බවත් මෙය පාතාලයේ අභ්‍යන්තර ගැටුමක් බවත මූලික විමර්ශනවලින් අනාවරණය වන්නේ යැයි රජය පාර්ශවයෙන් පවසා ඇත. නමුත් විපක්ෂය දිගින් දිගටම චෝදනා කරන්නේ මේ ඝාතනය රජය විසින් සිදුකර ඇති බවය.







