ව්‍යාජ ඔප්පු සැකසූ ප්‍රාදේශීය සභා මන්ත්‍රී නීතිඥයා ඇතුළු දෙදෙනෙකුට වසර 16ක බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ව්‍යාජ ලෙස සකස් කරන ලද දීමනා පත්‍රයක් (ඔප්පුවක්) උපයෝගී කරගනිමින් ඉඩමක් වංචනික ලෙස පවරා ගැනීමට කටයුතු කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හලාවත ප්‍රාදේශීය සභා මන්ත්‍රී, නීතිඥ ඇලෙක්ස් නිශාන්ත ප්‍රනාන්දු ඇතුළු දෙදෙනෙකුට හලාවත මහාධිකරණය මගින් වසර 16 බැගින් වූ බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කරන ලදී.

හලාවත මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර, විත්තිකරුවන්ට සිරදඬුවම්වලට අමතරව රුපියල් 20,000 බැගින් වූ දඩ මුදල් ද ගෙවන ලෙස නියෝග කෙරිණි. දඩ මුදල් ගෙවීම පැහැර හරින්නේ නම් එක් අයෙකුට මාස 06 බැගින් වූ අතිරේක ලිහිල් සිරදඬුවම් ද නියම විය.

මෙම සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් චෝදනා පත්‍ර ගොනු කර තිබුණේ 2011 වසරේදී සිදුවූ වංචාවක් සම්බන්ධයෙනි.

හලාවත ප්‍රදේශයේ පිහිටි වටිනා ඉඩමකට අදාළව ව්‍යාජ දීමනා පත්‍රයක් සකස් කිරීම, එය සත්‍ය ලේඛනයක් ලෙස ඉදිරිපත් කිරීම සහ ඒ හරහා වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා නගා තිබුණි.

ව්‍යාජ ලේඛන සකස් කිරීමට ආධාර අනුබල දුන් බවට හඳුනාගත් පුද්ගලයා පලමු විත්තිකරුය.

RelatedPosts

දෙවන විත්තිකරු අදාළ ව්‍යාජ ඔප්පුව සහතික කළ බවට චෝදනා ලැබූ හලාවත ප්‍රාදේශීය සභා මන්ත්‍රී, නීතිඥ ඇලෙක්ස් නිශාන්ත ප්‍රනාන්දුය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව, ඉදිරිපත් වූ සාක්ෂි මගින් විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බව විනිසුරුවරයා නිගමනය කළේය. ඒ අනුව එක් එක් විත්තිකරුට එරෙහිව වූ චෝදනා හතරකට වසර 04 බැගින්, සමස්තයක් ලෙස වසර 16ක සිරදඬුවම් නියම විය.

මීට අමතරව, වංචාවට ලක්වූ පාර්ශවය වෙත රුපියල් ලක්ෂ පහක (රු. 500,000) වන්දි මුදලක් ගෙවන ලෙස ද විත්තිකරුවන්ට නියෝග කෙරුණු අතර, එය ගෙවීම පැහැර හරින්නේ නම් වසර දෙකක අතිරේක සිරදඬුවමක් ද විනිසුරුවරයා විසින් නියම කරන ලදී.

නීති වෘත්තියට සහ මහජන නියෝජිතයෙකු ලෙස තනතුරට නිගා දෙන අයුරින් කටයුතු කිරීම සම්බන්ධයෙන් අධිකරණය මෙහිදී දැඩි අවධානය යොමු කර තිබීම සුවිශේෂී කරුණකි.

Related Posts

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

ADVERTISEMENT

Advertisement

ADVERTISEMENT