ලිංගික සේවයෙන් ලද ඉපැයීම් වශයෙන් 24 හැවිරිදි මෙරට කාන්තාවක් දේපළ සහ සුඛෝපභෝගී මෝටර් රථ ඇතුළු රුපියල් මිලියන 100 කට අධික ධනයක් රැස් කළ බවට පාපොච්චාරණය කර තිබේ.
දෙස් විදෙස් ධනවත් පුද්ගලයන්ගේ අනුග්රහය ලබන බව කියන කොල්ලුපිටිය ප්රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ.
පානදුර වලාන මර්දන ඒකකය විසින් සිදුකළ වැටලීමකදී තායිලන්ත කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අතර සිටින 24 හැවිරිදි ශ්රී ලාංකික කාන්තාවට සුඛෝපභෝගී මෝටර් රථ තුනක්, රුපියල් කෝටි 10කට අධික දේපළක් සහ පිළියන්දල ප්රදේශයේ ඉදිකරමින් පවතින තවත් තෙමහල් නිවසක් තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ප්රශ්න කිරීමේදී මෙම තොරතුරු අනාවරණ වී ඇති අතර එහිදී අදාළ කාන්තාව සිය වෘත්තියෙන් ධනය එක්රැස් කර ඇති බව හෙළි කර ඇති බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කළමනාකරු සහ මෙම ජාවාරම පිටුපස සිටි ප්රධාන සැකකරු වූ හිටපු හමුදා නිලධාරියෙකු ද වේ.
කොටුව මහේස්ත්රාත්වරයා විසින් නිකුත් කරන ලද සෝදිසි වරෙන්තුවක් මත වලාන – පානදුර මර්දන ඒකකයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාට ලද තොරතුරක් මත පොලිසිය මෙම වැටලීම සිදු කර ඇත.







