මනම්පිටිය නිමල් ජයරත්න –
ශ්‍රීලංකාවේ උණුදිය උල්පත් අතරින් වැඩිම උෂ්ණත්වයක් පවතින පොලොන්නරුව වැලිකන්ද නෙළුම්වැව මැද පිහිටා තිබූ උණුදිය උල්පත් තුන අතරට පසුගියදා තවත් උණුදිය උල්පත් හතරක් පමණ අලුතින් එකතු වී ඇති බව ප්‍රදේශ්වාසීහු පවසති.
විශාල වශයෙන් දියබුබුළු, දමමින් හුමාලය මතුකරන මෙම උණුදිය උල්පත් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළ ක් කඩිනමින් සකසා දෙන ලෙසට අදාළ බලධාරීන්ගෙන් නෙළුම්වැව සහ අවට ගම්වාසීහු ඉල්ලා සිටිති.
නුවර ප්‍රදේශයේ විශාල කන්දක් යටින් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය පිහිටි කන්ද යටට එක් දියඋල්පත් රේඛාවක් මගින් ඉතා වේගයෙන් ගලා එන එම දියඋල්පත් රේඛාව නෙළුම්වැව මැදින් දියබුබුළු දමමින් මතුකරන බවට පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය භූ විද්‍යාඥ ධර්ම ගුණරත්න විසින් කරන ලද පරීක්ෂණයකින් තහවුරු වී තිබේ.

ලංකාවේ ඉහළම උෂ්ණත්වයක් සහිත මෙම උණුදිය උල්පත්වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 67 වන අතර එය ශ්‍රී ලංකාවේ පිහිටි උණුදිය උල්පත් දහයෙන් වැඩිම උෂ්ණත්වයක් ඇති උණුදිය උල්පත් බවට 2005 වසරේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ එවකට හිටපු කථිකාචාර්ය භූගර්භ විද්‍යාඥ ධර්ම ගුණරත්න විසින් සිදුකරන ල ද පරීක්ෂණයට අනුව තහවුරු වී තිබිණි.
පොළොන්නරුව ඇතුළු පාසිකුඩා මෙන්ම පළාතේ විවිධ ස්ථාන සංචාරය කිරීමට පැමිණෙන දෙස්, විදෙස්, සංචාරකයන්ගෙන් විශාල වශයෙන් ආදායම් උපදවාගත හැකි මාර්ගයක් වන මෙම උණුදිය උල්පත් සංවර්ධනය කිරීමෙන් ප්‍රදේශයේ රැකියා අවස්ථා මෙන්ම විශාල සංවර්ධනයක් අත්පත් කරගත හැකි බවද ප්‍රදේශයේ ගොවිජන නියෝජිතයින් මෙන්ම විවිධ ස්වේච්ඡා සංවිධානවල නියෝජිතයන් සඳහන් කරති.
වැලිකන්ද ප්‍රාදේශීය සභාව යටතේ පාලනය වූ මෙම උණුදිය උල්පත් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ පාලනයට ගැනීමෙන් පසු උණුදිය උල්පත් නැරඹීමට බෝට්ටු සේවාවක් ආරම්භ කළද එයද මෙවැනි විට සම්පූර්ණ නතර වීම නිසා පැමිණෙන සංචාරකයන්ට උණුදිය උල්පත් නැරඹීමේ හැකියාව නොමැති බවද ප්‍රදේශවාසීන් සඳහන් කරති.
කුෂ්ඨ, දද ,සහ සමේරෝග සඳහා මෙම උණුදිය ජලය බොහෝ පිරිස් රැගෙන යන අතර විශාල රෝග ගණනාවක් සුව කර ගැනීමට මෙය මහත් ඔසුවක් වී ඇති බවද ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
පොළොන්නරුව නගරයේ සිට මඩකලපුව ප්‍රධාන මාර්ගයේ කිලෝ මීටර් 18ක් පමන ගමන් කළ පසු සෙවනපිටිය නගරයෙන් දකුණට හැරී කිලෝමීටර් 5ක් පමණ ගමන් කළ විට උණුදිය උල්පත් දැකගැනීමට හැකිය.







