සූරියවැව- නුවන් ජයසේකර-
අම්බලන්තොට රිදියගම සෆාරි උද්‍යානයේදී මීට මාස තුනකට පෙර උපන් සිංහ පැටවුන් තිදෙනෙකු සඳහා නම් තැබීම හා ඔවුන් මහජන ප්‍රදර්ශනය සඳහා එක් කිරීම සත්වෝද්‍යානය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආර්.සී.රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (12)පෙරවරුවේ සිදු කෙරුණි.
රිදියගම සෆාරි උද්‍යානයේ සිටි ලාරා සහ ඩෝරා නැමති (අම්මයි දුවයි) සිංහ ධේනුවන් දෙදෙනා විසින් සිංහ පැටවුන් හය දෙනුකු බිහිකළ අතර ඔවුන් සඳහා නම් තැබීමට පෙර එම සතුන් සඳහා නම් යෝජනා කිරීමට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් ජනතාවට අවස්ථාව ලබා දීමට කටයුතු කෙරුණි.
ඒ අනුව ජනතාව විසින් මුහුණුපොත හරහා මෙම සතුන් සඳහා නම් 4000ක පමණ ප්‍රමාණයක් යෝජනා කර තිබුණි. එම යෝජනා කර තිබූ නම් වලින් නම් හයක් පමණක් තෝරා ගැනීම සිදු කිරීමෙන් අනතුරුව සිංහ පැටවුන් සදහා නම් තැබීම සිදු කෙරුණි.

සිංහ පැටවුන් හය දෙනා අතර සිටි පිරිමි සිංහ පැටවාට මේඝ ලෙස නම් තැබුණි.එම නම යෝජනා කර තිබුනේ ගාල්ල,බඩල්ගම පදිංචි කේ.උතුම් ඉදුවර විසිනි. ගැහැණු පැටවුන් පස් දෙනා සදහා පිළිවෙළින් ටාරා, අඝ්‍රා, භූමි,අකීරා හා එල්සා ලෙස නම් තැබුණි .එම නම් යෝජනා කර තිබුණේ දැරණියගල පදිංචි අහිංසා රුක්ෂානි, නේමින්දි දෙහංසා, නිශ්‍රීතා එගොඩගෙදර , පානදුර පදිංචි දිලීෂා සරණමාන හා බිංගිරිය පදිංචි දිලීප නිර්මාල් යන අය විසිනි.

මෙම නම් තැබීමේ අවස්ථාවට මෙම සිංහ පැටවුන් සඳහා නම් යෝජනා කළ පිරිසක්ද එක්ව සිටි අතර යෝජනා වී තිබූ නම් අතරින් තෝරාගත් නම් හයෙන් නම් නම් තුනක් යෝජනා කළ තිදෙනෙකුද එම අවස්ථාවට එකව සිටියහ. ඔවුන් සඳහා තිළිණ ප්රදානයක්ද සිදු කෙරුණි.
මෙම සිංහ පැටවුන් හය දෙනා සඳහා නම් යෝජනා කළ පිරිස සඳහා පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සමග රිදියගම සෆාරි උද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාව උදාකර දීමටද සත්වෝද්‍යානය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ නම් තැබුණු සිංහ පැටවුන් මහජන ප්‍රදර්ශනයට එක කිරීමද මෙහිදී සිදු කෙරුණි.
මෙම අවස්ථාව සඳහා රිදියගම සෆාරි උද්‍යානයේ සහකාර අධ්යක්ෂ කසුන් හේමන්ත, රිදියගම සෆාරි උද්‍යානයේ පාලක(සත්ව) ඒ.ඩබ්ලිව්.අමිල චානක, ස්ථාන බාර පශුවෛද්‍ය නිළධාරී නදුන් කලුආරච්චි , ජ්‍යේෂ්ඨ පාලක පද්මාල් පෙරේරා ඇතුලු පිරිසක්ද එක්ව සිටියහ.








