මනම්පිටිය නිමල් ජයරත්න –
පොලොන්නරුව දිස්ත්‍රීක්කයට තව දුරටත් බලපා ඇති වියළි කාළගුණික තත්වය හේතුවෙන් මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ පිහිටි නිකහේන ගම්මානයේ ජනතාව බීමට දිය පොදක් හෝ නොමැතිව අන්ත පීඩාවට පත්ව සිටිති.
මාස 05 කට වැඩි කාලයකින් එම ප්‍රදේශයට වැසි නොලැබීමේ තත්වය මත ගම්මානයේ ජනතාවගේ ජල අවශ්‍යතාවන් ඉටුකරගත් නිකහේනවැවත් මේ වනවිට සම්පූර්ණයෙන් සිදීයාම ගොස් තිබේ.
ගම්මානයේ ළිං බොහෝමයක් ද මේ වනවිට සිඳී ගොස් ඇත.
නිකහේන ගම්මානයේ පවුල් 28 කට අයත් 140 කට ආසන්න සාමාජිකයින් පිරිසක් ජීවත් වෙති. නිකහේන වැව යටතේ මේ යලේ ගම්මුන් වගා කළ කුඹුරුවල අස්වැන්නේ විශාල කොටසක් ද නෙලා ගැනීමට පෙර විනාශ වී ගොස් ඇත.
ගම්මානයේ පිහිටි ප්‍රධාන ජල මූලාශ්‍රය වන නිකහේන වැව මෙලෙස වසර 05 කට පසු සම්පූර්ණයෙන් සිදීයාමෙන් ගම්වාසීන් පමණක් නොව වන සතුන්ටද බීමට ජලය නොමැතිව පීඩාවට පත්ව සිටින බවත්, වන සතුන් ආහාර හා ජලය සොයා ගම්වැදීම වැඩි වී ඇති බවත් ගැමියෝ පවසා සිටිති.
නියගය සහිත මෙම අවස්ථාවේ මෙම වැව නිසි ලෙස ප්‍රතිසංස්කරණය කොට එහි ජලය වැඩි ප්‍රමාණයක් ගබඩාකල හැකි තත්වයට පත්කර දෙන ලෙස නිකහේන ගම්වාසීහු බළධාරීන්ගෙන් ඉල්ලා සිටිති.







