2016 වසරේ සිට විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය පිළිබඳව සාධාරණ පැහැදිලි කිරීමක් සිදු කිරීමට නොහැකි වූ බැවින් ඔහුට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ නඩු පැවරීමට පොලිසිය තීන්දු කර තිබේ.
එමෙන්ම ඔහුගේ මේ සෑම ගනුදෙනුවක් පසුපසම සිටි ඩේසි ෆොරස් හෙවත් සුප්‍රකට ඩේසි ආච්චිත් සැකකරුවෙක් ලෙස නම් කර ඇයට එරෙහිව නඩු පැවරීමටත්, ඇයට ගුවන් ගමන් තහනමක් නිකුත් ලබා ගැනීමටත් පොලිසිය කටයුතු කර ඇත.
ඒ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මෙසේ පැවසුවේය.
“2016 වසරේ සිට අපි විමර්ශනයක් සිද්ධ කළා යෝෂිත රාජපක්ෂ නැමැති පුද්ගලයාට එරෙහිව. එනම් ඔහුගේ ගිනුම්වල තිබුණු රුපියල් මිලියන 59කට අධික මුදලක් සම්බන්ධයෙන්… ඔහුට එම මුදල උපයා ගත් ආකාරය පිළිබඳව සාධාරණ පැහැදිලි කිරීමක් කරන්න හැකියාවක් ලැබුණෙ නෑ.
ඒ අනුව අපි මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඔහුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කළා. ඒ වගේම විමර්ශනවලදි පෙනී ගියා මෙම මුදල් ස්ථිර තැන්පතු ඒ වගේම බැංකු තැන්පතුවලට යොදවා තිබීමේ දී ඩේසි ෆොරස් නම් තැනැතිය සමග හවුල් ගිනුමක් වශයෙන් තමයි මෙම ගිනුම් පවත්වාගෙන ගියෙ කියන එක.
ඒ නිසා නීතිපතිතුමා විසින් උපදෙස් ලබා දුන්නා මේ ඩේසි ෆොරස් නැමැති කාන්තාවත් මේ විමර්ශනයේ සැකකාරියක් ලෙස නම් කළ යුතු බවට.
ඒ අනුව අද (11) දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී යෝෂිත රාජපක්ෂ නැමැති සැකකරු සමගම මේ ඩේසි ෆොරස් නැමැති කාන්තාවත් සැකකාරියක් ලෙස නම් කර මෙම මුදල් විශුද්ධිකරණය යටතේ පවත්වාගෙන යන මෙම නඩු කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑමටත්, ඒ අනුව මෙම කාන්තාව සම්බන්ධයෙනුත් අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුකූලව අවශ්‍ය කරන ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනවා.
මේ වනවිට මේ තැනැත්තියට එරෙහිව විදෙස් තහනමක් පනවලා තියනවා. ඉදිරියේ නඩු පැවරීමේ දී මේ මුදල් විශුද්ධිකරණය සහභාගී වූ සියලුම සැකකරුවන් සඳහා නඩු පැවරීමටත් ශ්‍රී ලංකා පොලිිසය ක්‍රියා කරනවා.







