ත්‍රිකුණාමලයේ කුච්චවේලි මුහුදු තීරයේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් පිරිසක් සහ නාවික හමුදා නිලධාරින් අතර ඇති වූ ගැටුම අතර ඇත් වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධව පුළුල් පරීක්ෂණයක් පවත්වා හැකි ඉක්මනින් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ධීවර, ජලජ සහ සාගර සම්පත් ඇමැති රාමලිංගම් චන්ද්‍රසේකරන් නාවික හමුදාවට දැනුම් දී තිබේ.
දැනට වාර්තාවන පරිදි බලපත්‍ර කොන්දේසි කඩකරමින් සුරුක්කු දැල් දමා කුච්චවේලි මුහුදේ මසුන් ඇල්ලු මෙම ධීවර පිරිස අත් අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ දී ඇති වූ ගැටුමක් අතරතුර වෙඩි තැබීම වාර්තා වන්නේය. ගැටුම අතර පහරකෑමට ලක් වූ නාවික භටයින් දෙදෙනෙක් ද වෙඩි ප්‍රහාරයට ලක් වූ ධීවරයෙක් ද ත්‍රී කුණාමලය මහ රෝහලට ඇතුළත් කර තිබිණි.
කෙසේ වෙතත් මෙම ගැටුමෙන් පහර කෑමට ලක් වූ නාවික භටයන් හා වෙඩි වැදුණු තුවාලකරුගේ තත්ත්වය බරපතළ නොවන බව ත්‍රිකුණාමලය රෝහල් ආරංචි මාර්ග තහවුරු කළේය.
සුරුක්කු දැල් භාවිත කරමින් මසුන් ඇල්ලූ සිවු දෙනකු අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඒ අවට ධීවර කටයුතුවල යෙදී සිටි තවත් පිරිසක් මෙම සැකකරුවන් මුදා ගැනීමට උත්සාහ දරා ඇති බවත් ඉන්පසු ගැටුම හටගෙන ඇති බවත් පොලීසිය කියයි. වෙඩි තැබීමට විරෝධය පලකරමින් ධීවර කාර්මිකයින් පිරිසක් ඊයේ විරෝධතාවයක ද නිරත වි තිබිණි.
ගැටුම ඇති වූ අවස්ථාවේ නාවික භටයන් පස්දෙනකු නාවික හමුදා යාත්‍රාවේ සිට ඇති අතර ඉන් තිදෙනකුගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන වෙඩි තැබූ බවට සැක කරන ගිනි අවිය ද පොලිස් භාරයට ගෙන තිබේ.
මේ සම්බන්ධව අදහස් දක්වන ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් පවසන්නේ නීති විරෝධී ධීවර කටයුතුවලින් සාගර සම්පතටම සිදුකරන අසීමිත ව්‍යසනය පාලනය කිරීම අනිවාර්යය සාධයක් ලෙස සලකා නාවික හමුදාවට ඒ සාගර අපරාධ වැලැක්වීමට උපදෙස් ලබා දී ඇති නමුත් සාගර සම්පත් කොල්ල කන නීති විරෝධී ධීවර කර්මාන්තය මෙන්ම ඒ පසුබිමේ සිදුවන වෙඩි තැබීම් ද නිවැරදි නැති බවය.
“නීති විරෝධී ධීවර කටයුතු වැළැක්වීමට නාවික හමුදාවට උපදෙස් දී තිබෙනවා. ත්‍රිකුණාමලයේ සිදුවීම ද නීති විරෝධී මසුන් ඇල්ලීම නිසා සිදු වූවක් බව කියනවා.සත්‍යය දැනගත හැක්කේ පරීක්ෂණවලින් පසුව පමණයි. නීති විරෝධී මසුන් ඇල්ලීම ද වැරදියි, වෙඩි තැබීමද වැරදියි, ඒ සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීමත් වැරදියි. නාවික හමුදාවේ වාර්තාව ලැබුණු පසුයි නිගමනයකට එළඹිය හැකි වන්නේ . ඒ අනුව ඊළඟ පියවර ගත හැකි වේවි.’ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.







