එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් අද (26) පෙරවරුවේ මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
එම බැහැදැකීම අතරතුර මෙම දේශපාලන නායකයින් මහා නායක හිමිවරුන් වෙත සංදේශයක් ද භාර දුන්නේය. අනතුරුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධව සිහි කර නිරෝගී සම්පත්තිය වෙනුවෙන් ආශීර්වාද ලබාගෙන තිබිණි.
පොදු දේපල පනත යටතේ අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුවේ අධිකරණ කටයුතු සඳහා හිටපු ජනාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කළ යුතු දිනයේ දී මෙම බැහැදිකිම සිදුවී තිබිණි.

එහිදී පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන , පක්ෂ මහා ලේකම් තලතා අතුකෝරල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් මේ වන විට ඇතිවී තිබෙන වත්මන් තත්ත්වය සහ රට තුළ පවතින දේශපාලන හා ආර්ථික තත්ත්වය පිළිබඳව මහා නායක හිමි ඇතුළු මහා සංඝරත්නය සමඟ කළේය.
එම බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය ඇමතූ එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් තලතා අතුකෝරල මෙසේ පැවසුවාය.
“විශේෂයෙන්ම අපි කල්පනා කළේ අපේ මහානායක ස්වාමීන්වහන්සේලා දැනුම්වත් කරන්න. මහා නායක ස්වාමීන්වහන්සේලා එක්ක ඉතා සමීප සම්බන්ධතාවයක් රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ නියෝජ්‍ය නායක තුමා පවත්වාගෙන යනවා. ඉතින් අපි අපේ යුතුකමක් ලෙස සලකනවා උන්වහන්සේලාව දැනුම්වත් කරන එක. “
“මොකක්ද වෙන්නෙ කියලා වෙනස් තැන්වලින් දැනගන්න පුලුවන්. හරි තොරතුරු දැනුම්වත් නොවෙන්න පුලුවන්. අපි ආවේ මේ සම්බන්ධව මහානායක හිමිවරුන් දැනුම්වත් කරලා යන්න. “
මහලේකම් තලතා අතුකෝරාල කීවාය. ඇය පැවසුවේ එම සියලුම කරුණු ඇතුළත් කර මහා නායක හිමියන්ට සංදේශයක් භාර දුන් බවය.







