මනම්පිටිය නිමල් ජයරත්න –
මනම්පිටිය මහවැලි ගඟේ වැලි ගොඩ දමන කම්කරුවන්, වැලි මංකඩලාභීන්, සහ ටිපර් රථ රියැදුරන් මෙන්ම හිමිකරුවන්, සිය වැඩකටයුතු වලින් ඉවත්ව අද (08 ) පොළොන්නරුව ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ මනම්පිටිය මහවැලි පාලම අසල සිට මනම්පිටිය නගරය දක්වා ඇති කැලිකසල, පොලිතීන් මෙන්ම දිරාපත් නොවන ද්‍රව්‍ය ඉවත්කර විනාශ කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කළහ.
ඔවුන් ප්‍රධාන මාර්ගය දෙපස කිලෝමීටර් එකහමාරක් පමණ දුරට තිබූ කැලි කසල ඉවත් කර ඒවා විනාශ කර දැමූහ.
ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ පොළොන්නරුව ගල්ලෑල්ල, ප්‍රදේශයේ සිට මනම්පිටිය නගරය දක්වා ඇති වනාන්තර කොටසට බොහෝ පිරිස් බස් රථවලින් ප්ලාස්ටික් බෝතල්, පොලිතීන්, මෙන්ම දිරාපත් නොවන ද්‍රව්‍ය බැහැර කර යන අතර ඒවා අලි ඇතුන් ඇතුළු වන සතුන් ආහාරයට ගනිති.
මින් දැඩි පරිසර විනාශයක් මෙන්ම සතුන්ට හානිකර තත්ත්වයක් උදාවන නිසා මෙම කටයුත්ත සංවිධානය සිදුකළ බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ මාධ්‍ය සම්බන්ධීකාරක සුජිත් කෝනාර සඳහන් කළේය.
අනතුරුව මෙම පිරිස ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ මනම්පිටිය මහවැලි ගඟේ වැලි ගොඩ දමන ප්‍රදේශයේ වටිනා ශාක වර්ග රැසක් ද රෝපණය කිරීමට කටයුතු කළහ.
අධි සංවේදී පරිසර කලාපයක් වන පොළොන්නරුව ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානට දිරා පත් වන ද්‍රව්‍ය, පොලිතීන්, මෙන්ම ප්ලාස්ටික් ද්‍රව්‍ය බැහැර කිරීමෙන් වළකින ලෙස තමන් මේ මාර්ගයේ ගමන් කරන ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද ඔවුහු දැන්වූහ.
මෙම අවස්ථාවට භූ විද්‍ය හා පතල් කිරීම් කාර්යාංශයේ නිලධාරීන්, ටිපර් රථ සංගමයේ සභාපති ඇතුළු කාර්ය මණ්ඩලය, වැලි ගොඩ දමන කම්කරුවන් සහ සාමාජිකයන් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.







