කීර්ති ප්‍රනාන්දු –
කොටදෙණියාව ප්‍රදේශයේ මගුල් ගෙදරකට සහභාගී වෙමින් සිටිය දී අද (26) මිය ගිය වියපත් කාන්තාවකට කොවිඩ් ආසාදිත බව තහවුරුවීම නිසා මංගල උත්සවය නවත්වා මනමාලිය හා මනාලයා ඇතුළු මංගල සභාවම නිරෝධායනයට යොමු කළ පුවතක් කොටදෙණියාවෙන් වාර්තා වේ.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
වයස 76ක් වූ මෙම කාන්තාව මාතර පදිංචි කාරියකි. ඇය නිට්ටඹුව ප්‍රදේශයේ සිය මිණිබිරියගේ මංගල උත්සවයට සහභාගී වීම සඳහා මාතර සිට පැමිණ තිබේ.
මංගල උත්සවය අද පවත්වමින් සිට ඇත්තේ කොටදෙණියාව ප්‍රදේශයේ උත්සව ශාලාවක දීය. උත්සවයේ පෝරුවේ චාරිත්‍ර කරමින් සිටින විට තරුණියගේ අත්තම්මා හදිසියේ බලවත් ලෙස රෝගාතුර වී ඇති අතර වහාම ඇය දඹදෙණිය රෝහලට රැගෙන ගොස් තිබේ.
රෝහලට රැගෙන යන විට ඇය මියගොස් ඇත. රෝහලේ දී මෘත ශරීරයට කරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයකින් කාන්තාව කොවිඩ් ආසාදිතව සිට ඇති බව තහවුරු වී ඇතැයි දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඒ.යූ.ටී කුලතිලක ලංකාසරට පැවසීය.
මේ වනවිට මනාලයා මනාලිය ඇතුළු මංගල උත්සවයේ සියලු දෙනා නිරෝධායනය කර ඇති බව ඔහු වැඩිදුරටත් කීය.