ලලිත් චාමින්ද –
ගා/ලේල්වල කණිටු විද්‍යාලයේ දෙවැනි වසරේ ඉගනුම ලබන 08 හැවිරිදි දැරියක් පාසලේ ඉගනුම සදහා පැමිණි අවස්ථාවේදී ඇයගේ පියාට කොරෝනා බවට පවසා විදුහල්පති විසින් එම දැරිය පාසලෙන් නික්ම යැවීමට විරෝධය පාමින් සිසුවියගේ පියා අද(16) දහවල් සිට පාසලේ ගසකට නැග විරෝධතා දක්වමින් සිටියේය.
මෙසේ ගසට නැග විරෝධය දක්වමින් සිටියේ චන්දන කොඩිතුවක්කු (35) නැමැති අයෙකි. මේ පිළිබඳ ඔහුගෙන් කළ විමසුමේදී ඔහු මෙසේ කීය.
“මට දරුවෝ හතරක් ඉන්නවා, මම කුලී වැඩ කරලා දරුවෝ හදාගන්නේ. ගිය සිකුරාදා මගේ දුව තිරුණි පාසලට එව්වා. එවිට අපේ ගෙදර අයට කොරෝනා කියලා දරුවා ගෙදර යවලා තියෙනවා. ඊට පස්සේ සදුදා ළමයා පාසලට එව්වා. එදත් අපිට කොරෝනා කියලා ළමයා ගෙදර යවලා. ඒ නිසා මේ වගේ බොරු කියලා ළමයින්ගේ ඉගැනුමට බාධා කිරීම පිලිබඳව වහාම පියවරක් ගන්නැයි ලොකු මහත්වරුන්ගේ දැනගැනීමට හා මේ බොරු කතාවට විරෝධය පාන්න මම මේ ගහට නැග්ගේ. අද මගේ කුලී වැඩත් නැහැ. අපි අහිංසක මිනිස්සු. අපිට වන මේ අසාධාරණය ගැන සොයා බලන්න. “
මේ පිලිබඳව එම පාසලෙන් බැහැරව ගොස් සිටි විදුහල්පති වරයාගෙන් කරුණු විමසීමේදී ඔහුට මාධ්‍යයට කිසිවක් කීමට නොහැකි බැව් ප්‍රකාශ කළේය.
මෙම පාසල් බල ප්‍රදේශය අයත් බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය බී. එස්. ගුණවර්ධනගෙන් මෙම සිද්ධිය සම්බන්ධව විමසීමේදී එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට එවැනි කොවිඩ් ආසාදිතයෙක් ගැන කිසිදු වාර්තා කිරීමක් නොමැති බැව් පැවසීය.
තවද කොරෝනා ආසාදිතයින් සම්බන්ධ සියළුම කටයුතු තම අධීක්ෂණය යටතේ සිදුවන බව ඔහු පෙන්වා දුන්නේය.







