කීර්ති ප්‍රනාන්දු –
බස්නාහිර පළාතේ පාසල් සිසුන්ගේ ප්‍රවාහන පහසුකම් සපයන නිත්‍ය මගී සේවා අවසරපත් හිමි පෞද්ගලික බස් රථ 61කට අද ( 08 ) සිට පාසල් නිවාඩු කාලය තුළ පූර්ණකාලීනව මගී ප්‍රවාහන සේවාවල යෙදීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය අවසර ලබාදී තිබේ .
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ බස්රථ 39ක්ද ,ගම්පහ දිස්ත්‍රික්කයේ බස්රථ 16 ක්ද , සහ කළුතර දිස්ත්‍රික්කයේ බස්රථ 06ක්, ලබන 12 වන දින දක්වා පූර්ණකාලීනව මගී ප්‍රවාහන කටයුතු වල යෙදෙන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරී ජගත් පෙරේරා පැවසීය
බස්නාහිර පළාතේ ප්‍රධාන පෙළේ විද්‍යාල මෙන්ම සෙසු විද්‍යාලවල ඉගෙනුම ලබන සිසුන්ට ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඕ .ඩබ්ලිව්. ප්‍රසන්න සංජීවගේ උපදෙස් මත මෙම පාසල් බස් රථ සේවා ආරම්භ කෙරිණ .
සාමාන්‍ය බස් ගාස්තු යටතේ සිසුන් ප්‍රවාහනය කරනු ලබන මෙම බස් රථ වලට සිසුන් පාසල් වලට ඇරල වීමෙන් පසුව හා පස්වරුවේ පාසලේ සිට නිවෙස් කරා ගෙන යාමෙන් පසුවත් මගී ප්‍රවාහන කටයුතු සිදු කිරීමට අවසර ලබාදී ඇතැයි පවසන සාමාන්‍යාධිකාරී ජගත් පෙරේරා පාසල් නිවාඩු කාලය අවසන් වී දෙවන පාසල් වාරය ආරම්භ කෙරෙන ලබන 13 වැනිදා සිට නැවත පාසල් සේවා බස්රථ ක්‍රියාත්මක කෙරෙන බව ද කීය.
නව පාසල් වාරය ආරම්භ වූ පසු දිස්ත්‍රික්ක තුනේ පාසල් සේවා බස් රථ සංඛ්‍යාව තවත් වැඩි කිරීමට බලාපොරොත්තු වන අතර තවත් මාර්ග කිහිපයක් සඳහා පාසල් බස් රථ සේවා ආරම්භ කිරීමට ඉල්ලීම් ලැබී ඇතැයි ද ඔහු පැවසීය.







