බටලන්ද කොමිෂන් සභාව සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන්නේ නම් ඕනෑම අවස්ථාවක එම විමර්ශනයට ඉදිරිපත් වී සාක්ෂි දීමට සූදානම් බටලන්දේ අපරාධ ඇසින් දුටු සාක්ෂිකරුවන් මෙන්ම වින්දිතයින් ද තමන් සමග සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසුවේය.
මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් සහිත ආණ්ඩුව මේ මොහොතේ කළ යුත්තේ අදාල නෛතික ප්‍රතිපාදන සම්පාදනය කර විමර්ශනය ආරම්භ කිරීම බවය.
ඔහු මාධ්‍යයට පැවසුවේ මෙවැන්නකි.
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18/3 වගන්තියේ සඳහන් වෙනවා කොමිෂන් සභාවක් විසින් යම් අයෙක් වැරදි කරුවෙක් වැරදි කරු කියලා තහවුරු කරලා තියනවා නම් ජනාධිපතිවරයාට බලය දීලා තියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එක්කො පාර්ලිමේන්තු අනුමැතියක් සහිතව අදාල පුද්ගලයින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම ඇතුළු අනෙකුත් දඬුවම් ලබා දීම සඳහා.”
“ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට බලය ලබා දීලා තියනවා පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගෙන ඒ සම්බන්ධව අපරාධ නඩු අධිකරණය ඉදිරියේ පැවරීම සඳහා.”
“ඒ වගේම කොමිෂන් සභා වාර්තාවේ අවසාන නිර්දේශයක් ලෙස තියනවා මේ කොමිසමට ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ බලයක් නැති බැවින් යම් කොමිෂන් විසින් පුද්ගලයින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දීම සඳහා ව්‍යුහාත්මක වෙනසකමක් කරන්න කියලා.”
“කොමිසම මේක නිර්දේශ කරලා අවුරුදු 25ක් ගිහින් තියනවා. තාමත් පාර්ලිමේන්තුව නීතියක් සම්මත කළේ නෑ පුරවැසි භාවය ආහෝසි කිරීම සඳහා ප්‍රජා අයිතිය අහෝසි කරන නීතිමය ප්‍රතිපාදන දීලා. ”
“ඉතින් මේ ආණ්ඩුවට 159ක් ඉන්නවා මන්ත්‍රීවරු. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉන්නවා. දැන් නීතියක් සම්මත කරන්න පාර්ලිමේන්තුවේ. ශ්‍රේෂ්ඨාධිකරණයට බලය දෙන්න කොමිෂන් සභාව විසින් නිර්දේශ කරන අයගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න. ඒ බලය දීලා ප්‍රජා අයිතිය අහෝසි කරන්න.”
“අපිට තියෙන්නෙ අතීතයෙන් පලි ගැනීමේ චේතනාවක් නෙමෙයි. අනාගතයේ දී මේ වගේ සිද්ධි වෙන එක නවත්වන්න නම් අතීතයේ සිද්ධවෙච්චි මේ වගේ දේවල් ඉඳලා නවත්වන්න ඕන. ”
“අපට පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස ඇසින් දුටු සාක්ෂිකරුවන් ඇතුළුව අපි ලඟ ඉන්නවා ඒවට මැදිහත් වෙන්න පුලුවන් සාක්ෂි දෙන්න පුලුවන් සියලු තොරතුරු අපි ගාව තියනවා. අපි ඒවා දෙන්න සූදානම් ඕනෑම තැනකට. ”
“අපි ලිඛිතව දැනුම් දුන්නෙත් ඒකයි. විමර්ශනයක් ආරම්භ කරන්න. අපි ලෑස්තියි විමර්ශනයට සහය දෙන්න.” පුබුදු ජයගොඩ පැවසුවේය.







